April 27, 2024

පළමු ජය සමඟ ඉන්දියාව වාර්තා පොත අලුත් කරයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති පළමු දිවා/රාත්‍රි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

මේ සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාවට හැකි විය.

මැද පෙළ හා පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් නොදුන් ඉන්දියානුවෝ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පිල ලකුණු 216කට සීමාකළ අතර කිසිදු අපහසුවක් තොරව ජයග්‍රාහී ඉලක්කය පසුකළේ පන්දු 127ක් ඉතිරිව තිබියදී එක් කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමිනි.

ඉන්දීය පිළිතුරු ඉනිමේදී රෝහිත් ශර්මා (4) පළමු කඩුල්ල ලෙස මුළු ලකුණු 23දී දැවී ගියද ආරම්භක පිතිකරු ශිකර් ධාවන් සමග එක්වූ නායක විරාට් කෝලි ලකුණු 197ක නොබිඳි සබඳතාවක් ගොඩනගමින් ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගියේය.

සිය 11 වැනි එක්‌දින ශතක ලබා ගත් ධවාන් පන්දු 90 කදී හයේ පහර තුනක්‌ සහ හතරේ පහර විස්‌සක්‌ සමඟ ලකුණු 132 ක්‌ ලබා ගත් අතර එය ඔහුගේ පෞද්ගලික වේගවත්ම ශතකය ලෙසද වාර්තා විය. පන්දු 71 කදී ශතකය වාර්තා කරගත් ධවාන් මීට පෙර පන්දු 73 කදී කොදෙව්වන්ට එරෙහිව වේගවත් ශතකයක්‌ ලබා තිබුණි.

කෝලි නොදැවී ලකුණු 82ක් වාර්තා කළේ පන්දු 70කදී හතරේ පහර 10ක් හා හයේ පහරක් සමගිනි.

ලකුණු 200 කට වඩා ප්‍රතිවාදීන් ලබාගත් අවස්තාවක ඉන්දියාව සිදුකල හොඳම හඹා යාම ලෙස මෙම ජය වාර්තා පොතට එකතු වුයේ ජයග්‍රහණය ලබාගන්නා විට කඩුලු 9ක් සහ පන්දුවාර 31 කුත් පන්දුවක් ඉතිරිව තබාගනිමින් ජයග්‍රහණය වාර්තා කරමිනි.

නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක ඕවර 14කදී පළමු කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් පිහිටුවමින් ආරම්භයක් ලබාදුන්හ. එහෙත් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ යළිත් වරක් වගකීම් විරහිත පිතිහරඹයක් දියත් කළ මැද පෙළ පිතිකරුවන් හා අසාර්ථක වූ පසුපෙළ පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 43.2කදී ඉනිම නිමාවට පත්විය.

කාසියේ වාසිය දිනු ඉන්දීය නායක විරාට් කෝලිගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සමග පළමු කඩුල්ලට ගොඩනැගූ ලකුණු 74ක සබඳතාව බිඳ වැටුණේ යුස්වෙන්ද්‍ර චාහල්ගේ පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් උඩ පන්දුවක් රැක ගැනීමෙන් ගුණතිලක (35) දැවී යෑමෙනි.

අනතුරුව දික්වැල්ලට එක්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 65ක සබඳතාවක් ගොඩනගමින් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් වුවද ලකුණු 64ක් ලබාසිටි දික්වැල්ල දැවී යෑමත් සමග ඉනිමේ කඩා වැටීම ඇරැඹිණි. 5වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය රැස්කළ දික්වැල්ල, කේදර් ජාදව්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවනවිට පන්දු 74කදී හතරේ පහර 8ක් ඉනිමට එක්කර ගෙන තිබිණි.

ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 139ක් විය. දික්වැල්ලගේ කඩුල්ලත් සමග අවසන් කඩුලු 9 දවා ගැනීම සඳහා ඉන්දීය පන්දු යවන්නන්ට ලබාදීමට සිදු වූයේ ලකුණු 77ක් පමණි.

අක්ෂාර් පටෙල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් තෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 36කට දැවී ගිය අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස පත්වීමෙන් පසු පළමු තරගයට පිවිසි උපුල් තරංගට ලබාගත හැකිවූයේ ලකුණු 13ක් පමණි. ඔහු කේදර් ජාදව්ගේ පන්දුවක් හමුවේ ශිකර් ධවාන් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.

අනතුරු ලකුණු 9ක් තුළ චාමර කපුගෙදර (1), වනිඳු හසරංග (2) හා තිසර පෙරේරා (0) පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා පිල අසීරු තත්ත්වයකට ඇද දැමීමට ඉන්දීය පන්දු යවන්නන්ට හැකි විය. කපුගෙදර දුවද්දී දැවී ගිය අතර අක්ෂාර්ගේ පන්දුවක් හමුවේ ජාදව් උඩ පන්දුවක් රැක ගැනීමෙන් හසරංගද, පන්දු 5කට මුහුණදුන් තිසර පෙරේරා ලකුණු ලබාගැනීමට පෙර බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්ද දැවී ගියහ.

මුළු ලකුණු 187ක් වෙද්දී ලක්ෂාන් සඳකැන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට අක්ෂාර් පටෙල් සමත් වූ අතර ලකුණු 8ක් ලබාසිටි ලසිත් මාලිංග, යුස්වෙන්ද්‍ර චාහල්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමට හසුවිය. මංගල ජත්‍යන්තර එක්දින තරගයට එක්වූ විශ්ව චතුරංග ලකුණු ලබාගැනීමට පෙර ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්විය. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 50කින් ලකුණු 36ක් රැස්කර ගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

සිය ජාත්‍යන්තර එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අක්සාර් පටෙල් ලකුණු 34කට කඩුලු 3ක් දවාගත් අතර ජස්ප්‍රිට් බුම්රා, කේදර් ජාදව් හා යුස්වෙන්ද්‍ර චාහල් කඩුලු 2 බැගින් දවාගත්හ.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය මේ 24වැනිදා පල්ලේකැලේ දී පැවැත්වේ.

Rate this item
(0 votes)