April 26, 2024

ශ‍්‍රී ලංකා සංචිතයෙන් දෙදෙනෙකු ඉවතට

හෙට සිට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත්කර ඇති අතර 16 දෙනකුගෙන් යුත් එම සංචිතයට ඇතුළත් කරමින් වසරකට පමණ පසුව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට ළහිරු තිරිමාන්නට අවස්ථාව උදාකර ඇත.
තවද නිව්මෝනියා රෝගය වැළඳීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගය අහිමිවූ නායක දිනේෂ් චන්දිමාල් නැවතත් කණ්ඩායමට එක්වී ඇත.

ආබාධයන්ට ලක්වූ අසේල ගුණරත්න සහ සුරංග ලක්මාල් ටෙස්ට් සංචිතයෙන් ඉවත්කර ඇති අතර දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න සහ ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට කැඳවිමට තේරීම් කමිටුව තීරණය කළහ.

2016 ජුනී මාසයේදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසුව ටෙස්ට් තරග සදහා එක් නොවූ ළහිරු තිරිමාන්න මාස 13 කට පසුව නැවතත් ටෙස්ට් කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත. ටෙස්ට් තරග 26 කට ක්‍රීඩා කර ඇති තිරිමාන්න ශතකයක් සහ අර්ධ ශතක හතරක් සමගින් ලකුණු 1056 ක් රැස්කිරීමට සමත්වී ඇත.

සිම්බාබ්වේ සමගි පැවැති එකම ටෙස්ට් තරගයට සහ ඉන්දියාවත් සමගින් පැවැති පළමු ටෙස්ට් තරගයට නම් නොකළ ලක්ෂාන් සඳකැන් නැවතත් කණ්ඩායමට කැඳවා ඇති අතර ටෙස්ට් තරග 5 කට ක්‍රීඩා කර ඇති ඔහු කඩුලු 15 ක් දවාගැනීමට සමත්වී ඇත.

පළමු ටෙස්ට් තරගයේදී පන්දුවක් ඇගිල්ලේ වැදීමෙන් රංගන හේරත් ආබාධයකට ලක්වුවද නැවතත් යථා තත්වයට පත්වී ඇති බැවින් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු පැවසීය.

Rate this item
(1 Vote)