May 08, 2024

කුසල් මෙන්ඩිස්ට උසස්වීමක්.. රංගනගේ සහභාගීත්වය වැට උඩ:දෙවැනි ටෙස්ට් තරගයේ සංචිතය වෙනස් වන්නේ මෙහෙමයි 

සංචාරක ඉන්දියානු පිලට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අනිද්දා (3දා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීම සඳහා යළි පැමිණෙනු ඇතැයි වාර්තා වේ. නිව්මෝනියා රෝගයට ගොදුරු වීම නිසා චන්දිමාල්ට ගාල්ලේදී පැවැති ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගි වීමට නොහැකි වූ අතර ගාල්ල ටෙස්ට් තරගයේදී නායකත්වය දුන් රංගන හේරත්ගේ ඇඟිල්ල එම ටෙස්ට් තරගයේදී තුවාල වීම හේතුවෙන් කොළඹ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීම අවිනිශ්චිත බවද පැවැසේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහගේ අදහස වී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා සිට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා චන්දිමාල් යහපත් යෝග්‍යතාවකින් පසුවන බවයි. තවද චන්දිමාල් පසුගිය දිනවල පිතිකරණ පුහුණුවේ යෙදුණු බවද පවසා ඇති ගුරුසිංහ තවදුරටත් සඳහන් කර ඇත්තේ රංගන හේරත්ගේ ඇඟිල්ලෙහි ඇතිවී තිබෙන ආබාධය ගැන ඉදිරි දින දෙක තුනද සැලකිලිමත්ව බැලිය යුතු බවයි.

කෙසේ වෙතත් හේරත් දෙවැනි ටෙස්ට් තරගය සඳහා නිසි යෝග්‍යතාවකින් පසුවනවාදැයි අවසන් මිනිත්තුව තෙක් බලා සිටින බව ක්‍රිකට් කළමනාකරු තවදුරටත් පවසා ඇත. මේ අතර ගාල්ලේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේදී අංක 3 පිතිකරුවා ලෙස ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා කළ අතර චන්දිමාල් නැවත කණ්ඩායමට පැමිණියහොත් ධනුෂ්කගේ ස්ථානය දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහුට අහිමිවීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත. ඒ අනුව කුසල් මෙන්ඩිස්ට යළිත් අංක 3 ස්ථානයේ පිතිකරණය සඳහා අවස්ථාව ලැබෙන අතර කුසල් පසුගිය ගාල්ල ටෙස්ට් තරගයේදී ලකුණු රැස් කළේ අංක 4 පිතිකරුවා ලෙසය.

 

Rate this item
(2 votes)