May 21, 2024

අවසන් තරඟ තුනට වෙනසක් ..

අවසන් එක්දින ජාත්‍යන්තර තරග තුන සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන්  පළමු තරග දෙක සඳහා සංචිතයට කැඳවා තිබූ අමිල අපෝන්සු හා ලහිරු මදුසංක සංචිතයෙන් ඉවත් කර, ඒ වෙනුවට චාමර කපුගෙදර හා සුරංග ලක්මාල් සංචිතයට කැඳවා තිබේ.

ලහිරු මදුසංක හා අමිල අපෝන්සු සහභාගි වූයේ පළමු තරගයට පමණක් වන අතර, මදුසංකට එහි දී පිතිකරුවෙකු ලෙස  එක් පන්දුවකට මුහුණ දී ලබා ගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණි. පන්දු යැවීමේ දී ඔහු විසින් පන්දුවාර 2ක් තුල ලකුණු 18ක් සිම්බාබ්වේ පිතිකරුවන්ට ලබා දෙන ලදි.

අමිල අපෝන්සු සිම්බාබ්වේ හා ශ්‍රී ලංකා පළමු තරගය තුල පන්දුවාර 8. 4ක් තුල ලකුණු 77ක් ප්‍රතිවාදී කණ්ඩායමට ලබාදෙන ලදී.

දෙවන  තරඟයට පෙර කුසල් මෙන්ඩිස් හා ලසිත් මාලිංග අසනීප තත්ත්වයකට ලක්වීම නිසා සුරංග ලක්මාල්ව හා චාමර කපුගෙදරව සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබුණි.

ලබන 6 වැනි දා පැවැත්වෙන තෙවන එක්දින තරගය සඳහා අද (4) ශ්‍රී ලංකා කණ්ඩායම හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දී මූලික පුහුණුවීම් කටයුතුවල නිරතව සිටි අතර, අසනීප තත්ත්වවලට භාජනය වූ ලක්ෂාන් සඳකැන්, අසේල ගුණරත්න, ලසිත් මාලිංග හා කුසල් මෙන්ඩිස් අද පැවැත්වූ මූලික පුහුණුවීම්වල දී දැක ගන්නට ලැබුණි. ඒ නිසා ඔවුන් මේ වන විට සුවය ලබා ඇති බව කිව හැකිය.

මේ වන විට දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට1-1ක් ලෙස සම තත්ත්වයේ පවතින අතර, තවත් තරග 3ක් ඉතිරිව ඇත.

අවසන් තරග 3 සඳහා වන ශ්‍රී ලංකා සංචිතය –

ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග , නිරෝෂන් දික්වැල්ල, චාමර කපුගෙදර, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් , ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ලසිත් මාලිංග, සුරංග ලක්මාල් , නුවන් ප්‍රදීප්, වනිඳු හසරංග, අසේල ගුණරත්න, දුශ්මන්ත චමීර

Rate this item
(0 votes)