May 21, 2024

පසුගිය තරග දෙකේදීම සුපිරි දස්කම් දැක්වු මැද පෙළ ප‍්‍රවේගකාරී පිතිකරුවා එංගලන්තයේ සිට යළි ලංකාවට කැදවයි

25 හැවිරිදි ප්‍රවේගකාරී මැදපෙළ පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙන බවට ඉඟි පළකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඔහුව නැවත ශ්‍රී ලංකාවට කැඳවාගෙන තිබේ. මෙසේ ඔහුට නැවත පැමිණීමට සිදුව ඇත්තේ එංගලන්ත පෙන්රිත් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදීයි.

2010 වයස 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කරමින් ලොව පුරා ක්‍රිකට් විශේෂඥයින්ගේ අවධානය දිනාගත් භානුක කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයෙකි. වමතින් පිත්ත හසුරුවන ඔහු දකුණතින් මඳවේග පන්දු යවන්නෙකුද වන අතර ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා පිතිකරු අරවින්ද ද සිල්වා වැනි ප්‍රවීණයන්ද ඔහු ගැන ප්‍රශංසා මුඛයෙන් අදහස් දක්වා තිබේ. 2009 වසරේ ඕස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 111කදී ලබාගත් ලකුණු 154 ඔහු ගැන තවත් බලාපොරොත්තු දනවන්නට සමත් විය.

පසුගිය වසරේ ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම සමඟින් එංගලන්ත සංචාරයකටද එක්වූ භානුකට මෙවරදීවත් ජාතික කණ්ඩායමේ ඉඩක් වෙන්වනු ඇතැයි ඔහුගේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියි.

පෙන්රිත් කණ්ඩායම ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඔහු සහභාගී වූ අවසන් තරග දෙකේදීම නොදැවී ලකුණු 73ක් සහ 74ක් ලබාගෙන ඇති අතර අවසන් තරගයේදී කඩුලු 4ක්ද දවාගෙන ඇත.

Rate this item
(1 Vote)