May 21, 2024

ක‍්‍රිකට් ජීවගුණයට හානි කල දික්වැල්ලට ICC යෙන් තවත් දඩයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු මෙන්ම කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හට තරග ගාස්තුවෙන් 30%ක දඩ මුදලක් හා දඬුවම් ලකුණු දෙකක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

30 වැනිදා නිමා වූ ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ පිළිතුරු ඉනිම දියත් කරමින් සිටි සිම්බාබ්වේ ඉනිමේ 7 වැනි පන්දුවාරයේ දී කඩුල්ල පිටුපසින් සිටි දික්වැල්ල අතට wide පන්දුවක් පැමිණි අතර එම අවස්ථාවේ දී පිතිකරු තම සීමාව තුල සැලකිය යුතු කාලයක් රැඳී සිටි නමුත්, දික්වැල්ල ඔහු පාදය එසවීමට ආසන්න මොහොතකට එළඹෙන විට කඩුල්ල බිඳ දමමින් stumps කිරීමකට හසුකර ගැනීමට උත්සාහ කළ සිද්ධියට එදිරිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම දඩය හා දඬුවම් ලකුණු ප්‍රදානය කර තිබේ.

“තරගයට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විනිසුරුවරයෙක් වන ක්‍රිස් බෝර්ඩ් විසින් ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් වූවාය යන චෝදනාව දික්වැල්ල වෙත එල්ල කළ අතර, දික්වැල්ල විසින් එය පිළිගත් නිසා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වූයේ නැත.” යනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර සිටියේය.

දික්වැල්ල මෙම තරගයට පැමිණෙන විටත් දඬුවම් ලකුණු 5ක් ලබාගෙන තිබූ අතර, මෙම සිද්ධියත් සමඟින් එම ලකුණු ප්‍රමාණය 7 දක්වා වැඩි වී තිබේ. යම් හෙයකින් ඔහු විසින් මාස 24ක කාලයක් තුල දඬුවම් ලකුණු 8 සීමාව ඉක්ම වූවහොත්, තවත් දඬුවම් ලකුණු 2ක් ද එකතු කරගෙන මුළු දඬුවම් ලකුණු 4ක් ද සමඟින් තරග තහනමක හසුවනු ඇත. එවැනි ලකුණු 4ක්, එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග දෙකක තරග තහනමකට හෝ  ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි 20 තරග දෙකක් හෝ එක්දින තරග 4කට හෝ විස්සයි විස්ස තරග 4ක තහනමකට එම ක්‍රීඩකයාව යටත් කළ හැකිය.

දඬුවම් ලකුණු 8 ඉක්මවූ නිසා මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ද දික්වැල්ලට ජාත්‍යන්තර එක්දින තරග දෙකක තරග තහනමක් පැනවූ අතර, දික්වැල්ල හට මේ වන විට දඬුවම් ලකුණු 2ක් ලැබී ඇත.

Rate this item
(0 votes)