May 20, 2024

'ක‍්‍රීඩා ලෝලීන් දන්නවා ඇත්ත මොකක්ද කියල' - ඇන්ජෙලෝ මැතිව්ස්

පිටියෙන් පිටත කෙතරම් මතවාද පැතිරී ගියත් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලින් ඉන් නොමග නොයන බවත්, සත්‍යය කුමක්දැයි ඔවුන් අවබෝධ කරගෙන සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පරාජයෙන් පසුව ක්‍රීඩකයන් අරභයා විවිධ මතවාද පැතිරී ගියත් එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියට ඒ කිසිවක් අදාළ නොවන බව ද හෙතෙම කියා සිටියේය.

සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට ඇරැඹෙන එක්දින තරගාවලිය සම්බන්ධව පසුගියදා කොළඹ මෝවන්පෙක් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදි අදහස් පළ කරමින් මැතිව්ස් එසේ කීවේය.

'කණ්ඩායමේ මානසිකත්වය රඳවා තබාගත යුතුයි. සිම්බාබ්වේ තරගාවලිය ආරම්භවීමට සූදානම්. පිට දේවල්වලින් අපේ මනස බිඳ දමාගන්න බෑ. අපි ඒ ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ.' ඔහු කීවේය.

'දැන් ඉන්න ජනතාව නොමඟ යවන්න බෑ. ජනතාව දන්නවා හරිදේ මොකක්ද වැරැදි ‍දේ මොකක්ද කියලා. ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීම අපිට ලොකු අභිමානයක්. අපි සියයට තුන්සියයක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙනවා. මම අයි.පී.එල්. තරගාවලියේ දී පන්දු යැවීම ගැනත්, චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී පන්දු නොයැවීම ගැනත් විවිධ මත පළවෙනවා. ඒක සිද්ධ වුණේ මට ලැබී තිබූ වෛද්‍ය උපදෙස් අනුවයි. චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පුහුණු තරගවලදී මම පන්දු යැව්වා. ඒත් ඔස්ට්‍රේලියාව එක්ක තිබුණු තරගයේදී ම‍‍ගේ ආබාධය නැවත මතුවීම නිසා චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී පන්දු යවන්න එපා කියලයි මට උපදෙස් ලැබී තිබුණේ. එතැනදි මට පිතිකරුවකු ලෙස කටයුතු කිරීමටයි පැවැරී තිබුණේ.' මැතිව්ස් සඳහන් කළේය.

Rate this item
(2 votes)