April 26, 2024

ගුරුසිංහ නිසා ෆෝඩ් කනස්සල්ලෙන් ඉදලා.. ධූරයෙන් අස්වෙන්න හේතුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් සියරට පැමිණීමෙන් පසුව ග්‍රැහැම් ෆෝඞ් මහතා නිවාඩු අනුමත කරගනිමින් සියරට බලා ගියේය. මේ වන විට 57 වැනි වියේ සිටින දකුණු අප්‍රිකානු ජාතිකයකු වන ග්‍රැහැම් ෆෝඞ් මහතා වසරකට මඳක් වැඩි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළේය.

ජාතික කණ්ඩායමේ සිටින විදේශීය පුහුණුකරුවකු කිසියම් සංචාරයකින් පසුව නිවාඩු ලබාගෙන සියරට යාම සාමාන්‍ය දෙයක් වන නමුත් ෆෝඞ් මහතා මෙවර දකුණු අප්‍රිකාව බලා ගියේ තමන්ගේ සියලු බඩුබාහිරාදියත් අසුරාගෙනය. එසේ පිටත්ව යාමට පෙර ෆෝඞ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සමග දීර්ඝ  සාකච්ඡාවක නියැළි බවටද වාර්තා විය.

දැනගන්නට ඇති පරිදි මෙම සාකච්ඡාවේදී ෆෝඞ් මහතා විසින් ඉස්මතු කරන ලද ප්‍රශ්නයක් වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නිලධාරීන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ ව්‍යූහය සහ ඔවුන්ගේ කාර්යභාරයයි. මේ වසර මුලදී පැවැති බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් භාර කළමණාකරුවා ලෙසින් පත්කරන ලද අසංක ගුරුසිංහ මහතා පසුව තේරීම් කමිටු නිලධාරියකු වශයෙන්ද පත්කරන ලදි. මෙම තත්ත්වය කණ්ඩායම තුළ තමන්ගේ කාර්යභාරයට බලපෑමක් බව ග්‍රැහැම් ෆෝඞ් මහතා ඉස්මතු කරන ලද මූලික කාරණාවකි.

අනෙක් අතට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය එන්න එන්නම දියාරු වෙමින් යන බවකි. විශේෂයෙන්ම කණ්ඩායමෙන් ඉවතට විසිවූ නම්දැරූ ක්‍රීඩකයන් නැවතත් කණ්ඩායමට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් ෆෝඞ් මහතාගෙන් ලැබී ඇති දායකත්වය අල්ප බවද කතාබහට ලක්වී තිබේ. ශ්‍රී ලංකා පිලේ හිටපු මැද පෙළ පිතිකරු ළහිරු තිරිමාන්න සම්බන්ධයෙන්ද එහිදී කතාබහට ලක්වී තිබේ.

ග්‍රැහැම් ෆෝඞ් මහතා පුහුණුකරු ලෙසින් සිටියදී ඒ වන විට ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායමවූ ඕස්ටේ්‍රලියානු ටෙස්ට් පිල 3-0 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව 10 වැනි ස්ථානයේ සිටින සිම්බාබ්වේ පිලට (ප්‍රසාද ලකුණු 0) එරෙහිව ටෙස්ට් තරග දෙක ජයගැනීමට ශ්‍රී ලංකා පිල (ප්‍රසාද ලකුණු 96) කණ්ඩායමට හැකි වූ නමුත් එතැන් සිට පැවැති තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායමට දිගින් දිගටම අත්වූයේ පරාජයයි. පසුගිය වසර අගදී මෙන්ම මේ වසර මුලදී දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින්ද එක්දින තරගාවලිය 5-0 ක් ලෙසින්ද පරාජය වූ ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය හෝ එක්දින තරගාවලිය ජයගැනීමටත් නොහැකි විය.

ෆෝඞ් මහතාගේ නික්මයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කරන ලද නිවේදනයක සටහන් වූයේ ෆෝඞ් මහතාගේ තීරණය දෙපාර්ශ්වයේම එකඟතාව මත ගන්නා ලද එකක් බවයි. කණ්ඩායමෙන් ඉවත්ව යන පුහුණුකරුවාගේ සේවය අගයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අදහස් දක්වා තිබිණ.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන ලද දායකත්වය වෙනුවෙන් ෆෝඞ් මහතාට අප ස්තුතිවන්ත විය යුතු වෙනවා..ඔහු අප සමග එක්වූයේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව අපව තහනම් කිරීමට ඔන්න මෙන්න කියා තිබුණ තත්ත්වයකදී. ඒ වන විට තිබුණ තත්ත්වයත් හරිම අස්ථිර සහ අවදානම්”

“ඒත් ෆෝඞ් මහතාට අප කෙරෙහි විශ්වාසනීයත්වයක් තිබුණා විතරක් නෙමේ ඔහු අපට පූර්ණ සහයෝගය දුන්නා..ඔහුගේ මෙම තීරණය දෙපාර්ශ්වය විසින්ම හොඳට සිතා බලා ගත් එකක්ග කොහොම වුණත් ඔහුගේ නික්මයාම ගැන අපට ඇත්තේ කණගාටුවක්” යයි තිලංග සුමතිපාල මහතා පැවසූ බව මාධ්‍ය නිවේදනයේ සටහන් වී තිබිණ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර දෙවැනි වතාවටත් බාරගත්තේ 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා රැඳී සිටීමේ පොරොන්දුව මත වුවත් මාස 15 ක කාලයකට පසුව කණ්ඩායම හැරයාමට ෆෝඞ් මහතා තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් මෙබඳුය.

“මේ දක්‍ෂ තරුණයන් කිහිප දෙනාත් එක්ක මාස 15 ක කාලයක් ඉන්න ලැබුණ එක මා ලද භාග්‍යයක්. ක්‍රීඩාව වෙනුවෙන් ඔවුන් තුළත්, විශේෂයෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයන් තුළත්, තියෙන භක්ත්‍යාදරය අති විශාලයි…ශ්‍රී ලංකාව ගැන හැමදාමත් මගේ හදවතේ රැඳී තියේවි”

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මා සුබපතන අතරම තරුණ ක්‍රීඩකයන්ට යමක් කියන්නට කැමතියි….හැම තිස්සේම තමන් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන්න. තමන්ගේ කණ්ඩායම ගැන විශ්වාස කරන්න. හදවතින්ම ක්‍රීඩා කරන්න” යයිද ෆෝඞ් මහතා විසින් දකුණු අප්‍රිකාවේ සිට එවන ලද නිවේදනයේ සටහන් වේ.

Rate this item
(2 votes)