May 02, 2024

දෙවැනි අභියෝගයත් ජයගන්න ලංකාව සූදානමින්

පිට පිටම තෙවැනි වරටත් විස්‌සයි විස්‌ස තරගාවලියක්‌ දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල අද (06) බංග්ලාදේශය සමඟ වැඩ ඇල්ලීමට සූදානමින් සිටියි. 

පළමු තරගය ජය ගැනීමෙන් ඉහළ මානසික මට්‌ටමට පැමිණ සිටින ශ්‍රී ලංකා පිල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තෙවැනි ජය උදුරා ගැනීමේ බලාපොරොත්තුවෙන් සටනට පිවිසෙයි.

දකුණු අප්‍රිකාවට (2-1) සහ ඔස්‌ට්‍රේලියාවට එරෙහිව (2-1) විස්‌සයි විස්‌ස තරගාවලි දෙකක ජයග්‍රහණ පිට පිටම සන්තකයේ තබා ගත් ශ්‍රී ලංකා පිල අද දිනයේදීත් බංග්ලාදේශයට සුපුරුදු ඉරණම අත්කරදුනහොත් පිට පිටම විස්‌සයි විස්‌ස තරගාවලි ජයග්‍රහණ ත්‍රිත්වයක්‌ හෙවත් ‘හැට්‌ට්‍රික්‌’ ජයක්‌ වාර්තා කරනු ලබයි.

පෙරේදා ලද ජයත් සමඟ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු දෙකක්‌ එකතුකර ගනිමින් සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 101 දක්‌වා ඉහළ දමා ගැනීමට සමත් විය. නමුත් මීට වසර දෙකකට පෙර විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ පළමු තැන සිටි ශ්‍රී ලංකාව වර්තමානයේ අටවැනි තැන දක්‌වා පල්ලම් බැස තිබේ. කෙසේ වෙතත් ලබන වසරේ විස්‌සයි විස්‌ස ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රේණියේ ඉහළ නැඟීමට නම් ශ්‍රී ලංකාවට සෑම ජයග්‍රහණයක්‌ම අත්‍යවශ්‍ය වී තිබේ.

ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ ‘හිල්’ ගොඩක්‌ තිබුණ බව පළමු එක්‌දින තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහ පැවසූ අතර තවත් මාස දෙකකින් එළැඹෙන චැම්පියන්ස්‌ කුසලානට පෙර පන්දු රැකීම අංක එකට ගෙන ඒමේ වැඩපිළිවෙලක්‌ සකස්‌ කරන බව ඔහු විස්‌සයි විස්‌ස තරගාවලියට පෙර පැවසීය. 

එය යථාර්ථයක්‌ වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විශිෂ්ට පන්දු රැකීමකට පෙරේදා තරගයේ නිරත වූ අතර අනතුරුව පන්දු යැවීම සහ පිති ප්‍රහාරයද සාර්ථක කර ගැනීමට ඔවුන් වග බලා ගත්හ. එම හැකියාව මෙම තරගයේදීත් ක්‍රියත්මක කළහොත් බංග්ලාදේශය පිට පිටම විස්‌සයි විස්‌ස තරග නවයක පරාජයකට ඇද දැමීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.

කෙසේ වෙතත් බංග්ලාදේශ නායක මස්‌රාෆි මොර්ටාසාගේ අවසන් විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරගයද මෙය වේ. ඔහු පෙරේදා තරගයෙන් පසුව පවසා සිටියේ, ”විස්‌සයි විස්‌ස ගහන්න ගොඩක්‌ ශාරීරික සෞඛ්‍ය තියෙන්න ඕන. මේක ඉක්‌මන් ක්‍රීඩාවක්‌. මම විස්‌සයි විස්‌ස ලෝක කුසලාන පහකම ක්‍රීඩා කළා. නමුත් දැන් මගේ අවධානය එක්‌දින සහ ටෙස්‌ට්‌ ක්‍රීඩාව දෙසටයි. කොහොම වුණත් දෙවැනි තරගය ජය ගෙන ශ්‍රී ලංකාවේදී පළමු වරට තරගාවලියක්‌ පරාජය නොවී සිටීමට අපි උත්සහ කරනවා.” යනුවෙනි.

ටෙස්‌ට්‌ තරගාවලිය 1-1 ක්‌ ලෙස සහ එක්‌දින තරගාවලිය 1-1 ක්‌ ලෙස සම සමව අවසන් වීමෙන් බංග්ලාදේශය ඉහළ මානසිකත්වයකට පැමිණ තිබේ. අද තරගයද ඔවුන් ජය ගතහොත් ශ්‍රී ලංකාව සමඟ පැවැති ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරගාවලි ත්‍රිත්වයක්‌ සම සමව අවසන් කර ගත් පළමු අවස්‌ථාව වශයෙන් සටහන් වේ.

Rate this item
(0 votes)