May 02, 2024

20 - 20 ගැටුම අද සිට - උපරිම ශක්‌තියෙන් ලංකාව තරග බිමට

ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලි දෙකෙහිම ශූරතාව සමසේ බෙදා ගැනීමට සිදුවූ හෙයින් විස්‌සයි විස්‌ස තරගාවලියේ ශූරතාව කෙසේ හෝ සින්නක්‌කරව ලියා ගැනීමේ අදහසින් බංග්ලාදේශය සමග ඔට්‌ටුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පවසයි.

තරග දෙකකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේ පළමු තරගය අද(04) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 7.00 ට ආරම්භ වීමට නියමිතය.

කණ්‌ඩායමේ සියලුම දෙනා ඉතාමත් යහපත් මානසිකත්වයකින් සිටින බවත් එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි තරගයේදී පන්දු රැකීමේ අඩුපාඩුව මගහරවා ගැනීමෙන් විස්‌සයි විස්‌ස තරගාවලිය කෙසේ හෝ ජය ගැනීමට උපරිම ශක්‌තිය යොදවන බවත් තරංග ඊයේ(03) ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

“ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලිය සමව අවසන් වුණා. අපි බලාපොරොත්තු වෙනවා විස්‌සයි විස්‌ස තරගාවලිය ජය ගන්න. මොකද ලසිත් මාලිංග ඇතුළු දක්‍ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කණ්‌ඩායමට එක්‌වෙලා ඉන්නවා. අපි ඔස්‌ටේ්‍රලියාවේදී දැක්‌වූ දක්‍ෂතාවත් සමග හොඳ විස්‌සයි විස්‌ස මානසිකත්වයකින් ඉන්නවා.”

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ විස්‌සයි විස්‌ස තරගාවලි දෙකම දකුණු අප්‍රිකාවට සහ ඔස්‌ට්‍රේලියාවට එරෙහිව ජය ගැනීමට සමත්විය. නමුත් ඔවුන් මේ වන විට විස්‌සයි විස්‌ස ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 101 ක්‌ ලබා පසුවන්නේ අටවැනි ස්‌ථානයේය. ශ්‍රී ලංකාවට පසුපසින් නව වැනි ස්‌ථානයේ ඇෆ්ගනිස්‌ථානය පසුවන අතර බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 72 ක්‌ සමග එම ශ්‍රේණියේ 10 වැනි තැන පසුවේ. විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු 127 ක්‌ සමග නවසීලන්තය පළමු ස්‌ථානයට පත්ව තිබේ.

“අපි ඔස්‌ට්‍රේලියාවේදීත් ලකුණු 170 කට වඩා හඹා ගොස්‌ ජය ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා මේ තරගයේදී ලකුණු 170-180 ක්‌ ප්‍රමාණයක ලබා ගන්න. එවැනි ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගත හැකි පිතිකරුවන් අපිට ඉන්නවා. අපි මේ තරගාවලියට එන්නෙ අවසන් වරට පැවැති විස්‌සයි විස්‌ස තරගාවලි දෙකේදීම ලෝකයේ හොඳම කණ්‌ඩායම් පරාජය කිරීමෙන් පසුවයි.” යනුවෙන් තරංග පැවසී ය.

ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස සංචිතයට ආරම්භක පිතිකරුවන් කිහිප දෙනෙකුම සිටින බැවින් අද තරගයේ ආරම්භක පිතිකරුවන් කවුරුන්ද යන්න තීරණය කරනු ලබන්නේ පුහුණු සැසියෙන් පසුව බවද තරංග සඳහන් කළේය.

“මමත් එක්‌ක ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, ඩිල්ෂාන් මුණවීර සහ සහ ධනුෂ්ක ගුණතිලක ඉන්නවා. ඉතිං අපි බලනවා කවුද අද ආරම්භක පිතිකරුවන් ලෙස යොදා ගන්නේ කියලා. මොකද කුසල් පෙරේරාත් තරගය සඳහා සියයට සියයක්‌ම සූදානමින් ඉන්නෙ. ඔහු ශාරීරික යෝග්‍යතාවක්‌ ඉහළින් සමත් වුණා. නමුත් තරගයට ක්‍රීඩා කරන්නෙ කවුරුන්ද යන්න දැන්ම කියන්න බැහැ.”

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති විස්‌සයි විස්‌ස තරග පහෙන් ශ්‍රී ලංකාව සිව්වරක්‌ ජය ගෙන ඇති අතර බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ එක්‌ තරගයක්‌ පමණි. 2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව දෙරට විස්‌සයි විස්‌ස තරගයකදී මුණ ගැසෙන පළමු අවස්‌ථාව මෙය වේ.

ශ්‍රී ලංකා පිල ඊයේ සවස්‌වරුවේ පුහුණුවීම්වල නිරත වූ අතර බංග්ලාදේශය පිල විදුලි ආලෝaක මධ්‍යයේ පුහුණුවීම්වල නිරත විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 April 2017 13:57