May 06, 2024

ක්‍රිකට් කියන්නේ කාගෙවත් බූදලයක් නෙවෙයි - ගුරුසිංහ කඩුව අතට ගනී

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලන යාන්ත්‍රණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තවත් පියවරක් ලෙස ක්‍රිකට් කළමනාකරු තනතුරක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති අතර එම තනතුර සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන අසංක ගුරුසිංහ මහතා පත්කොට ඇත.

හෙටින් ඇරැඹෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියත් සමඟ අසංක ගුරුසිංහගේ නව පත්වීම ක්‍රියාත්මක වන අතර 96 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා එක්දින පිලේද සිටි මෙම වමත් පිතිකරුවා නව තනතුරේ වැඩ භාරගැනීම නිමිත්තෙන් ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක්ද පැවැත්විණි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ ක්‍රිකට් ආයතන නිලධාරීන් සමඟ නව ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ, තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය, ක්‍රිකට් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා සහ ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් යන මහත්වරුද සහභාගි වූ මෙම මාධ්‍ය හමුවේදී තිලංග සුමතිපාල මහතා කියා සිටියේ නව ක්‍රිකට් කළමනාකරුගේ රාජකාරිය වන්නේ ක්‍රිකට් තේරීම් කමිටුවත් සමඟ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රතිපත්තීන්ද සමඟ සම්බන්ධීකරණය කරමින් කටයුතු කිරීම බවයි.

තවද ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන කළමනාකරුවා සහ නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත බුද්ධි කේන්ද්‍රය යන අංශයන් සමඟද තාක්ෂණිකව කටයුතු සම්බන්ධීකරණය කිරීමද ගුරුසිංහ මහතාගේ රාජකාරියට අයත් විෂය පථයට ඇතුළත් වෙන බවද කී සුමතිපාල මහතා “මෙමඟින් ගොඩනැඟෙන යහපත් අනෝන්‍ය සබඳතාව නිසාම අපේ කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට, ක්‍රීඩාවට හා තාක්ෂණයට ලොකු රුකුලක් වේවි.

ඒ නිසා අපේ ප්‍රතිපත්ති ප්‍රකාරව ඉදිරියට යෑමේදී යම් හිඩැසක් දැක්කා. ඒ හිඩැස පුරවන්නයි ක්‍රිකට් කළමනාකරු තනතුරට ගුරුසිංහ පත් කළේ. කණ්ඩායම් කළමනාකරු හා ක්‍රිකට් කළමනාකරු කියන්නෙ තනතුරු දෙකක්. අපේ දැන් ව්‍යවස්ථාවේ හැටියට ක්‍රිකට් කළමනාකරු නැතහොත් සංචාරයේ කළමනාකරු තමයි තරග සංචාරයේ තේරීම් කමිටු සභාපතිවරයා විදියට කටයුතු කරන්නෙ. කණ්ඩායම් කළමනාකරුට පැවැරෙන්නේ කණ්ඩායමේ පහසුකම් සැලසීම හා පරිපාලන කටයුතුවලට අදාළ කරුණුයි” යනුවෙන් පැවැසීය.

තවද වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ක්‍රිකට් කළමනාකරු තනතුර වෙනුවෙන් ගිවිසගත් හිටපු වමත් පිතිකරු අසංක ගුරුසිංහ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සමඟ සාකච්ඡා වට කිහිපයකින් පසුව නව තනතුර භාරගැනීමට තීරණය කළ බවත් තම පාසල් සමයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ තිලංග, අරවින්ද වැනි ක්‍රිකට් ප්‍රබලයන් සමඟ එක්ව වාඩිවී කටයුතු කිරීමට ලැබීම විස්මය දනවන කරුණක් බවත්ය.

කෙසේ වෙතත් මෑතකදී ඕස්ට්‍රේලියානු සංචාරයේදී විශිෂ්ට දස්කම් පෙන්වූ යොවුන් ජාතික කණ්ඩායමක් සමඟ කටයුතු කිරීම ඇතුළුව මෙම තනතුරේ රාජකාරි කිරීම විශාල අභියෝගයක් බවද සඳහන් කළ නව ක්‍රිකට් කළමනාකරුවා “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සැලැස්ම දිහා බැලුවාම ලංකාවේ ක්‍රිකට් දැන් හරි තැනකට ඇවිල්ල කියලා මම විශ්වාස කරනවා. 1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සිටි ‍ශේෂ්ඨ ක්‍රීඩකයන් සමඟත් කණ්ඩායම් නායක ඇන්ජිලෝ මැතිව්ස් සහ ඒ වාගේම ප්‍රධාන පුහුණුකරු, ෆෝඩ් හා අවශේෂ පුහුණු කාර්ය මණ්ඩලය සමඟ එකතු වෙලා දැනට තිබෙනවාට වැඩිය හොඳ තැනකට කණ්ඩායම ගෙන ඒමට කටයුතු කරනවා” යනුවෙන්ද පැවැසීය.

මේ වනවිට 96 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ වැඩි පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දායකත්වය දක්වන පසුබිමක එම කණ්ඩායමේ නායකයාව සිටි අර්ජුන රණතුංගගේ දායකත්වයත් ලබා ගැනීම පිළිබඳ සිතන්නේ කුමක්දැයි විමසූවිට ඊටද පිළිතුරු දෙමින් අදහස් දැක්වූ ගුරුසිංහ ඒ ප්‍රශ්නය අර්ජුනගෙන් ඇසිය යුතුයි. මම හිතන්නේ අර්ජුන ඇමැති කෙනෙක් නේද. එයාගේ වෘත්තීමය ක්‍රිකට් දැනුමත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට කවදාහරි ඕන වෙනවා. එයාටත් මොන විදියෙන්ද උදවු කරන්න පුළුවන් කියලා එයා කල්පනා කරන්න ඕනෑ. මේ ශ්‍රී ලංකා ක්‍රිකට්. මේක කාගෙවත් පෞද්ගලික දෙයක් නෙවෙයි. සභාපතිගෙවත්, ලේකම්ගෙවත්, නායකයාගේවත් නෙවෙයි. පුළුවන් තරම් වෘත්තීමය දක්ෂතා ඇති අය එකතු කරගෙන ක්‍රිකට් දියුණු කිරීමයි වත්මන් පාලක මණ්ඩලය සැලැසුම් කරන්නෙ. මම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ණයගැතියි. මේ වගේ තත්ත්වයට එන්න මට උදවු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට්. ඒ නිසා අවුරුදු 20කට පසුව ඇවිල්ලා හරි මේ වගේ උදවු කරන්න ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා යනුවෙන්ද කීය.

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන තමන් හට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සේවය කිරීමට අවුරුදු 20ක් යනතෙක්ම ආරාධනයක් ලැබුණේ නැද්ද? යන පැනයට පිළිතුරු දුන් ගුරුසිංහ කීවේ “කලින් ආරාධනා ලැබුණා. මේ සභාපතියි අරවින්දයි මීට අවුරුදු 15කට කලින් කතා කළා. ඒත් මම හිතුවා දැන් තමයි හොඳ අවස්ථාව” යනුවෙනි.

ක්‍රිකට් කොමිටි සභාපති අරවින්ද සිල්වා කියා සිටියේ මෙවන් තනතුරක් ඇති කිරීම මීට වසර කිහිපයකට පෙර කළ යුතුව තිබූ දෙයක් බවයි. අර්ජුන රණතුංගගේ දායකත්වය පිළිබඳ ඇසූ පැනයකටද පිළිතුරු දුන් අරවින්ද “එකා වගේ වැඩකරමු කියලා අපි අර්ජුනටත් ඒකෙ වැදගත් කම කීවා. අසංක මේ තනතුරට ආව එක ඉතා ඉහළින්ම අගය කරනවා. ඒ වගේම අර්ජුනත් එන්න ඕනෑ” යැයිද පැවැසීය.

ලෝක කුසලානය දිනාගත් 14 දෙනාගෙන් 9ක්ම වර්තමානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ කටයුතු කරන බවද කී ක්‍රිකට් සභාපතිවරයා “මට කිසි ප්‍රශ්නයක් නැහැ ඔහුගේ තිබෙන ක්‍රිකට් දැනුමෙන් අපට දායකත්වය ලබා දෙන්න පුළුවන්. ක්‍රීඩකයෙක් විදියට ඔහුට කාගේත් ගෞරවයක් තියෙනවා” යනුවෙන්ද පැවැසුවේ අර්ජුන පිළිබඳ ඇසූ තවත් පැනයකටද පිළිතුරු දෙමිනි.

Rate this item
(0 votes)