April 27, 2024

ශ්‍රී ලංකා “ඒ” පිළ කඩුලු 3කින් ජය ගනී

February 28, 2017

සංචාරක එංගලන්ත ලයන්ස් පිල සමග පැවැති දෙවැනි සිවුදින ටෙස්ට් තරගයෙන් කඩුලු 3ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමත් විය.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඕවර 22කදී හිමිවූ ලකුණු 90ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගය නිමාවීමට පන්දු 26ක් තිබියදී ජය හිමිකර ගත්හ. මේ සමග තරග 2කින් සමන්විත සිවු‍දින තරගාවලිය 1-1ක් ලෙස සමව නිමාවට පත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලයන්ස් පිල පළමු ඉනිමට ලකුණු 353ක් රැස්කළ අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිමට ලකුණු 548ක් වාර්තා කළේය. ලකුණු 195ක් පිටුපසින් දෙවැනි ඉනිම ඇරැඹු ලයන්ස් පිල ඊයේ සවස තේ පානයට පෙර ඕවරයේදී ලකුණු 284කට දැවී ගියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 90ක ඉලක්කයක් ලබාදෙමිනි.

එම ඉලක්කය හඹායෑමේදි ශ්‍රී ලංකාවට කඩුලු 7ක් අහිමිවූ අතර උදාර ජයසුන්දර ලකුණු 32ක් හා ධනංජය ද සිල්වා ලකුණු 23ක් රැස්කළද සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය.

පන්දු යැවීමේදී ටොම් කූරන් කඩුලු 4ක් බිඳ දැමීය.

ලකුණු 32කට කඩුලු 2ක් දැවී තිබියදී ඊයේ ඉනිම ඇරැඹූ ලයන්ස් ක්‍රීඩකයෝ අවසන් කඩුලු 8 සඳහා තවත් ලකුණු 252ක් එක්කර ගත්තේය. ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය බලාපොරොත්තු ප්‍රමාද කරමින් හුදෙකලා ඉනිමක් දියත් කළ ලියම් ලිවින්ග්ස්ටොන් නොදැවී ලකුණු 140ක් රැස්කළේ මේ තරගයේ දෙවැනි ශතකය ලෙසිනි. ඔහු පළමු ඉනිමේදී ලකුණු 105ක් වාර්තා කළේය. බෙන් ෆෝක්ස් සමගින් එක්ව 5වැනි කඩුල්ල ලකුණු 107ක් එක් කිරීමට ලියම් සමත් විය. ‍ෆොක්ස් ලකුණු 54කට දැවී ගියේ මලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ නායක ධනංජය ද සිල්වා උඩ පන්දුවක් රැක ගැනීමෙනි. ලියම්ගේ ඉනිමට පන්දු 225කදී හතරේ පහර 16ක් හා හයේ පහරක් අතුළත් විය. ලයන්ස් පළමු ඉනිම සුණුවිසුණු කළ මලින්ද පුෂ්පකුමාර (127/8) දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දවාගත් අතර ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 3ක් හා ධනංජය ද සිල්වා කඩුලු 3ක් බිඳ දැමූහ.

ලයන්ස් පළමු ඉනිම – 353 (ඕවර 97.5) ලියම් ලිවින්ග්ස්ටෝන් 105, ටොම් වෙස්ට්ලි 68 (මලින්ද පුෂ්පකුමාර 127/8) සහ දෙවැනි ඉනිම – 284(ඕවර 92.1) ලියම් ලිවින්ග්ස්ටෝන් නොදැවී 140, බෙන් ෆෝක්ස් 54 (මලින්ද පුෂ්පකුමාර 78/5, ජෙෆ්රි වැන්ඩසේ 102/3, ධනංජය ද සිල්වා 47/2)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 548 (ඕවර 135.2) දිමුත් කරුණාරත්න 212, සධීර සමරවික්‍රම 185, ධනංජය ද සිල්වා 74 (ඔලි රේනර් 164/4, ‍රෝලන් ජෝන්ස් 67/3) සහ දෙවැනි ඉනිම – 90/7 (ඕවර 17.4) ‍(ටොම් කූරන් 38/4)

Rate this item
(0 votes)