May 01, 2024

සිංහ - කැන්ගරු විස්සයි විස්ස සටන අද

February 17, 2017

ඒරන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියාවනු විස්සයි:20 කණ්ඩායම මෙල්බර්න් නුවරදී අද ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට බසින්නේ තමන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් රැසක්ම ඉන්දියාවට ගොසින් සිටියදීය. ටෙස්ට් සහ එක්දින නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඬේවිඞ් වෝනර් ඇතුළු ඉදිරි පෙළ ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාවනු ටෙස්ට් කණ්ඩායම සමග ඉන්දියාවට ගොස් සිටිති.

ඕස්ට්‍රේලියාවනු විස්සයි:20 පිලට එක්වූ බොහෝ දෙනෙක් බිග් බෑෂ් තරගාවලියේදී දස්කම් පෙන්වූ ක්‍රීඩකයෝ වෙති. ෆින්ච්ට ඇත්තේ මෙම නවකයන් සමග ඉදිරියට යාමේ අභියෝගයකි.

13 දෙනකුගෙන් සමන්විත ඕස්ටේ්‍රලියානු සංචිතයට මයිකල් ක්ලින්ගර්, ජේ රිචඞ්සන්, ඇෂ්ටන් ටර්නර් වැනි නවකයන් ඇතුළත්වන අතරම ජේම්ස් ෆෝක්නර්, ට්‍රැවිස් හෙඞ්, ඇන්ඩෲ ටේ සහ ඇඩම් සම්පා වැනි අමාරුකාරයෝත් සිටිති. ෆින්ච්, ක්ලින්ගර්, ට්‍රැවිස් හෙඞ්, බෙන් ඩන්ක් සහ මොයිසස් හෙන්රික්ස් වැන්නෝ අධිවේගී ලකුණු රැස්කරන්නෝය. ජේම්ස් ෆෝක්නර්, පැට්ටි්‍රක් කමින්ස් සහ ඇඩම් සම්පා නමක් ඇති පන්දු යවන්නෝ කිහිප දෙනෙකි.

ස්ටීවන් ස්මිත්, ඬේවිඞ් වෝනර්, මිචෙල් ස්ටාක්, ජොෂ් හේසල්වුඞ්, ග්ලෙන් මැක්ස්වෙල් වැනි ක්‍රීඩකයන්ගේ අඩුව පුරවන්නට මෙම නවකයන්ට හැකිවේද යන්න සොයා බැලීම ඕස්ටේ්‍රලියානුවන්ගේ අපේක්‍ෂාවයි.

මේ අතරවාරයේදී ලසිත් මාලිංග එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනදාට වඩා ශක්ති සම්පන්නව සිටී. ඕස්ටේ්‍රලියානු අගමැතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමිකරගත් ශ්‍රි ලංකාව ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුව හෙට දිනයේදී තරග වදිනු ඇත.

වසරකට ආසන්න කාළයක් ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටි ලසිත් මාලිංග නැවත කණ්ඩායමට එක්වී ඇති අතර පුහුණු තරගයේදී සුපුරුදු දස්කම් දක්වමින් පළමු ඕවරයේ සිවුවැනි පන්දුවෙන් කඩුල්ලක් දවාගැනීමට සමත්විය. මාලිංග නැවතත් කණ්ඩායමට එක්වීම තරුණ ක්‍රීඩකයින්ගේ ජවය සහ උනන්දුව වැඩිවීමට හේතුවක් වනු ඇත. ඞ්වේන් බ්‍රාවෝට පසුව විස්සයි20 තරගවලදී කඩුලු 300 සිමාව පසුකිරීමට ලසිත් මාලිංග සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම සහ උපනායක දිනේෂ් චන්දිමාල් ලකුණු අතරට නොපැමිණීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා විස්සයි20 නායකත්වට පත්වූ උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන පළමු විස්සයි20 තරගාවලිය මෙය වන්නේය. මෙම වසර තුළදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වට පත්වූ තෙවැනි නායකයා වන්නට උපුල් තරංග සමත්විය.

පසුගිය කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොසිටි දසුන් ශානක, මිලින්ද සිරිවර්ධන, ඩිල්ශාන් මුණවීර සහ චාමර කපුගෙදර නැවතත් කණ්ඩායමට කැඳවා ඇති අතර ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් සහ තමන්ගේ ඉදිරිගමන වෙනුවෙන් සුවිශේෂී යමක් කිරීමට ඔවුන්ට සිදුවනු ඇත.

මෙතෙක් ජාත්‍යන්තර විස්සයි20 වරම් හිමිකර නොගත් විකුම් සංජය ඊයේ පැවැති තරගයේදී ලකුණු 26 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විම හේතුවෙන් හෙට දිනයේදී ජාත්‍යන්තර විස්සයි20 වරම් හිමිවීමට වැඩි ඉඩකඩක් ඇත.

ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර් , මිචෙල් ස්ටාක්, ජොෂ් හේසල්වුඞ් ඇතුළු ඕස්ටේ්‍රලියානු පළමු පෙළ කණ්ඩායම ඉන්දියාවේ තරග සංචාරයක නිරතවන අතර ඔවුන් හෙට මුම්බායිහිදී පුහුණු තරගයකට සහභාගී වීමට නියමිතව ඇත. දෙවැනි පෙළ කණ්ඩායමක් හෙට තරගයේදී ශ්‍රී ලංකාව සමගින් තරග වදින අතර එම කණ්ඩායම ඒරන් ෆින්ච් විසින් මෙහෙයවනු ලබයි. මයිකල් ක්ලින්ගර්, ඒවෝන් රිචඞ්සන්, බිලී ස්ටැන්ලේක් සහ ඇෂ්ටන් ටර්නර් හෙට ජාත්‍යන්තර විස්සයි20 වරම් හිමිකර ගැනිමට සූදානමින් පසුවෙති.

ටෙස්ට් සහ එක්දින අන්තර්ජාතික තරග වලට ක්‍රීඩා නොකළ නමුත් පළමු පෙළ තරග 179 ක්, එක්දින තරග 163 ක් සහ විස්සයි20 තරග 133 කට ක්‍රීඩාකරමින් ලකුණු 22,163 ක් රැස්කර ඇති මයිකල් ක්ලින්ගර් 36 වැනි වියේ පසුවන්නෙකි. හෙට තරගයේදි ජාත්‍යන්තර විස්සයි20 වරම් හිමිකර ගැනීමට මයිකල් ක්ලින්ගර් සමත්වුවහොත් පූර්ණ සාමාජිකත්වය හිමි රටකින් විස්සයි20 වරම් හිමිකරගත් පස්වැනි වයස්ගතම ක්‍රීඩකයා මයිකල් වනු ඇත.

රෆතුල්ලා මොහොමඞ් (පකිස්තානය), රාහුල් ද්‍රාවිඞ් (ඉන්දියාව), ෆොලොයිඞ් රීෆර් (බටහිර ඉන්දීය කොදෙව්) සහ සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව) මීට පෙර ජාත්‍යන්තර විස්සයි20 වරම් හිමිකර වයස්ගත ක්‍රීඩකයෝ වෙති.

ජාත්‍යන්තර විස්සයි20 තරග වලදී ලකුණු 1000 පසු කිරීම සදහා ඒරන් ෆින්ච්ට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 26 ක් වන අතර මේ තරගාවලියේදී ඔහුට එම ඉලක්කය පසුකිරීමට හැකිවූවහොත් විරාත් කෝලීට පසුව එම දස්කම කළ දෙවැනි වේගවත්ම පිතිකරුවා වන්නේය. තවද ජාත්‍යන්තර තරග 107 කට ක්‍රීඩාකරමින් ටෙස්ට් තරගයකට සහභාගීනොවී ඇති ඒරන් ෆින්ච්ට, ඬේවිඩි හසී තබා ඇති වාර්තාව බිඳ හෙළීමට තවත් ඇත්තේ තරග දෙකක් පමණි.

ශ්‍රී ලංකා සංචිතය

උපුල් තරංග (නායක), විකුම් සංජය, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මුණවීර, සචිත් පතිරණ, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක, මිලින්ද සිරිවර්ධන, ඉසුරු උදාන.

ඔස්ට්‍රේලියානු සංචිතය

ඒරන් ෆින්ච් (නායක), මයිකල් ක්ලින්ගර්, ඒවෝන් රිචඞ්සන්, බිලී ස්ටැන්ලේක්, ඇෂ්ටන් ටර්නර්, පැට් කමින්ස්, බෙන් ඩන්ක්, ජේම්ස් ෆෝක්නර්, ට්‍රැවිස් හෙඞ්, මොයිසස් හෙන්රිකස්, ටිම් පේන්, ඇන්ඩෲ ටේ සහ ඇඩම් සම්පා,

Rate this item
(0 votes)