May 07, 2024

ශ්‍රී ලංකාවේ පළමු සූමෝ ශූරයා චමිල

මෙරට ක්‍රීඩා ඉතිහාසයට එක්වූ පළමුවැනි සූමෝ ජාතික තරගාවලියේ ශූරයා ලෙස කිරුළු පැළඳීමට මතුගම ක්‍රීඩා සමාජයේ චමිල කරවිට සමත්විය.

කොළඹ, කොටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ ඊයේ පැවැති මේ තරගාවලියේ ජ්‍යෙෂ්ඨ විවෘත අංශයේ අවසන් තරගයේ දී ගම්පොළ ජී.පී.උදයංග පරාජය කරමින් පළමුවැනි ජාතික සූමෝ ශූරයා ලෙස කරවිට ඉතිහාසයට එක්වූ අතර ජ්‍යෙෂ්ඨ කාන්තා තරග අංශයේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජී.එස්.බණ්ඩාර මැණිකේ පරාජය කළ ගුවන් හමුදාවේහිම අකිලා කුමාරි විජේවර්ධන ජාතික ශූරිය බවට පත්වූවාය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150කට අධික සංඛ්‍යාවක් තරග වැදුණු ජාතික සූමෝ තරගාවලියේ කනිෂ්ඨ තරග අංශයේ ශූරයා ලෙස අවසන් තරගයේ දී ආම්ස්ට්‍රෝං ක්‍රීඩා සමාජයේ ඒ.පි.පෙරේරා පරාජය කළ පරාක්‍රම ක්‍රීඩා සමාජයේ යූ.ඩි.ඉසුරංග තේරී පත්වූ අතර කනිෂ්ඨ තරග අංශයේ ශූරිය බවට පත්වූයේ ජේ.සෙනෙවිරත්න පරාජය කළ එච්.එම්.හේමන්තිය.

කිලෝග්‍රෑම් 115ට වැඩි ජ්‍යෙෂ්ඨ පිරිමි තරග අංශයේ අවසන් මහා තරගයෙන් මහනුවර හෙල්ත් ෆස්ට් ක්‍රීඩා සමාජයේ ඒ.ලෝගේන්ද්‍ර පරාජය කිරීමට ගුවන් හමුදාවේ ඒ.ඩි.තුෂාර සමත්විය.

ගුවන් හමුදාවේ ජී.එස්.මධුසංඛ පරාජය කරමින් කිලෝග්‍රෑම් 95ට අඩු බර පන්තියේ ජයග්‍රහණය අත්පත් කරගැනීමට නාවික හමුදාවේ එස්.සී. ගුණරත්න සමත්විය. කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ පිරිමි අවසන් තරගයෙන් ගුවන් හමුදාවේ පී.කේ.චන්දිම පරාජය කළ නාවික හමුදාවේ කේ.පි.විමලසිරි එම තරග අංශය ජයගනිද්දී නාවික හමුදාවේ එන්.පී.ජයසිංහ පරාජය කරමින් කිලෝග්‍රෑම් 75ට අඩු පිරිමි අවසන් තරගයෙන් ජයගැනීමට නාවික හමුදාවේහිම එච්.එස්.බුද්ධික සමත්විය.

කනිෂ්ට හා ජ්‍යෙෂ්ඨ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැති මේ ශූරතාවලියට පිරිමි හා කාන්තා දෙඅංශයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ පළාත් නියෝජනය කරමින් සුමෝ ක්‍රීඩා සංගම් ද, කනිෂ්ට අංශය නියෝජනය කරමින් පාසල් කණ්ඩායම් ද එක්වී සිටියහ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රි ලංකා සූමෝ සම්මේලනය සංවිධාන කළ මේ තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සහ ශ්‍රී ලංකා ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා සහභාගි වූහ.

Rate this item
(0 votes)