May 08, 2024

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා අවසන් T20 තරගය අදයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 3 කින් සමන්විත 20-20 තරගාවලියේ ශූරයන් තීරණය කෙරෙන තෙවැනි 20-20 තරගය අද (25) කේප්ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව ජයගත් අතර දෙවැනි තරගයෙන් ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය 1-1 ලෙස සම කළේය.

දෙවැනි තරගයේදී ආබාධයකට ලක්වී සිටියදී ශ්‍රී ලංකාවට ජය ගෙන දුන් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආපසු ශ්‍රී ලංකාව බලා පිටත්ව ගිය අතර අද තරගයේදී ශ්‍රී ලංකා පිල දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබයි.

තරගය පිළිබඳ අදහස් දක්වන නායක චන්දිමාල් පවසන්නේ අද තරගය ජයගෙන තරගාවලිය ජය ගැනීමට උපරිම සටනක් ලබා දෙන බවයි.

කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන මැතිව්ස් නැතිවීම ප්‍රබල පාඩුවක් බව පවසන චන්දිමාල් තරුණ ක්‍රීඩකයන් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇති බවට විශ්වාසය පළ කළේය.

මේ වන විට එක්දින තරගාවලියට සහභාගි වන උපුල් තරංග දකුණු අප්‍රිකාවේ රැඳී සිටින අතර මැතිව්ස්ගේ ස්ථානයට ඔහු ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.

දකුණු අප්‍රිකාවද අද තරගය සඳහා සුපිරි පිතිකරුවෙකු වන ඒ.බි. ඩිවිලියර්ස් කැඳවා තිබේ. ආබාධයකට ලක්වීමෙන් පසු අන්තර් ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කළ ඩිවිලියර්ස් පසුගිය සතියේදී ශතකයක් වාර්තා කළේය.

දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ පෙර පෙළ බිඳවැටුණු අතර දඟ පන්දු යවන්නන්ට හොඳින් පහරදෙන ඩිවිලියර්ස් ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකාවේ අභියෝගයවී තිබේ.

අද තරගය පැවැත්වෙන කේප්ටවුන් තණතීරුව පිතිකරුවන්ට මෙන්ම වේග පන්දු යවන්නන්ට වාසිදායක වනු ඇතැයි පැවසේ.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දෙවැනි තරගයේදී දස්කම් දැක්වීම නිසා අද වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් ලබාදෙනු ඇතැයි පැවසේ.

අද ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවන් ලෙස දික්වැල්ල, ධනංජය, මෙන්ඩිස්, චන්දිමාල් සහ තරංග ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න සහ සචිත් පතිරණ ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

වේග පන්දු යවන්නන් ලෙස නුවන් කුලසේකර සහ ඉසුරු උදාන ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව වාර්තා වන අතර දඟ පන්දු යවන්නා ලෙස ලක්ෂාන් සඳකැන් ක්‍රීඩා කරයි.

ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තික්ෂිල ද සිල්වා, සීකුගේ ප්‍රසන්න, සචිත් පතිරණ, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, ඉසුරු උදාන, අසේල ගුණරත්න, ලක්ෂාන් සඳකැන්, ලහිරු කුමාර, විකුම් සංජය

දකුණු අප්‍රිකානු සංචිතය

ෆර්හාන් බිහාර්ඩීන් (නායක), ඒ.බි. ඩිවිලියර්ස්, ඩේවිඩ් මිලර්, ඉමිරාන් තහීර්, වේන් පානෙල්, ආරොන් පන්ගීසෝ, ඇන්ඩි‍ලේ පෙලුක්වායෝ, තෙයුනිස් ඩී බ්‍රයන්, ඩේන් පීටර්සන්, රීසා හෙන්ඩ්‍රික්ස්, හීනෝ කුන්, මංගලිසෝ මොසේ‍ලේ, ලන්ගි එන්ගිඩි, ජොන් ජොන් ස්මට්ස්

Rate this item
(0 votes)