May 08, 2024

ජාතික සූමෝ මංගල තරගාවලිය අද

ලොව පුරා අසීමිත ජනප්‍රියත්වයක් ලබා ඇති ජපානයේ ජාතික ක්‍රීඩාව වන සූමෝ මීට වසර 6කට පෙර ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් එය මෙරට ව්‍යාප්ත කළ කිත්සිරි ද සොයිසා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රි ලංකා සූමෝ සම්මේලනය පළමුවරට සංවිධාන කරනු ලබන සුමෝ ජාතික ශූරතාවලිය අද (25) පෙරවරු 9.00 සිට කොළඹ කොටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ (YMCA) දී පැවත්වෙයි.

කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ මේ ශූරතාවලිය පිරිමි හා කාන්තා දෙඅංශයෙන්ම පැවැත්වීම විශේෂත්වයකි. ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය ලැබී ඇති ජාතික සුමෝ ශූරතාවලියට බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ පළාත් නියෝජනය කරමින් සුමෝ ක්‍රීඩා සංගම් ද, කනිෂ්ඨ අංශය නියෝජනය කරමින් පාසල් කණ්ඩායම් ද එක්වී සිටිති. ජ්‍යෙෂ්ඨ තරග අංශයට මෙන්ම කනිෂ්ඨ තරග අංශයට ද බර පන්ති 6ක් යටතේ තරග ඇතුළත් වෙයි. කිලෝ ග්‍රෑම් 75, 85, 95, 115, 115ට වැඩි සහ විවෘත අංශයේ තරග ජ්‍යෙෂ්ඨ තරග අංශයට ඇතුළත් වන අතර එහි කාන්තා තරග අංශයට කිලෝ ග්‍රෑම් 55, 60, 65, 70, 75 සහ 75ට වැඩි බර පන්ති ඇතුළත්ය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250කට අධික සංඛ්‍යාවක් තරග වදින ජාතික සුමෝ ශූරතාවලියේ කනිෂ්ඨ තරග අංශයට අවුරුදු 13 සිට 18 දක්වා බාලක බාලිකාවන් තරග වදින අතර සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියදා දිස්ත්‍රික් මට්ටමෙන් පැවැති පුහුණු වැඩමුළු අතරින් තෝරාගත් බව ජාතික සූමෝ පුහුණුකරු ලසන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ අතරින් ඇතැම් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති බව ද ගුණවර්ධන මහතා කීවේය.

තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් මෙන්ම කනිෂ්ඨ තරග අංශයෙන් ද ජාතික ශූරයා සහ ශූරිය තෝරාගන්නා අතර ජයගන්නා සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීමට නියමිතය.

තරගාවලියෙන් පසුව කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කාන්තා පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගත කොට විදෙස් තරග සඳහා තෝරාගැනීමට නියමිතය. වසර 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුමෝ ක්‍රීඩාව ඇතුළත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින අතර 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සූමෝ කණ්ඩායමක් සහභාගි කරවිම ශ්‍රී ලංකා සූමෝ සම්මේලනයේ අරමුණ බව ගුණවර්ධන මහතා පැවැසීය.

ජාතික සූමෝ ශූරතාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහත්වරු සහභාගී වෙති.

වසර දෙදහසකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන සුමෝ ක්‍රීඩාව වර්තමානය වනවිට ලොව පුරා රටවල් සියයකට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබේ.

Rate this item
(0 votes)