May 08, 2024

නායකයෙක් ලෙස ලැබූ අසීරුම පරාජය මෙයයි

දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ 3-0 ක තරගාවලි පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ නායකයකු වශයෙන් එය තමාගේ අසීරුම මොහොත බවයි. කණ්ඩායම බොහෝ පරාජයන්ට මුහුණ දුන් අවස්ථාවලදී තමන් කණ්ඩායමේ සිටි නමුත් මෙම තරගාවලියේදී මුහුණ දුන් ඉරණම ඉතාමත් කණගාටුදායක බවත් ශ්‍රී ලංකා නායකයා කියයි.

දෙසැම්බර් 26 වැනිදා පෝට් එළිසබෙත්හිදී ආරම්භ වූ ටෙස්ට් තරගාවලියේ තුන්වැනි තරගය පැවැතියේ ජොහැන්නස්බර්ග් නුවරදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම දින තුනක් ඇතුළතදී එම තරගය ඉනිමකින් පරාජය වූයේ 3-0 ක තරගාවලි ජයක් දකුණු අප්‍රිකානුවන්ට හිමිකර දෙමිනි. කේප් ටවුන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් ශ්‍රී ලංකා පිල ලකුණු 282 කින් පරාජය විය.“මා පරාජයන් අත්විඳි බොහෝ කණ්ඩායම් වල ඉඳලා තියෙනවා. ඒත් නායකයකු වශයෙන් ඉතාමත්ම අසීරු පරාජය මෙයයි” “නායකයෙක් වුණත් නැති වුණත් පරාජය බොහෝ වෙලාවට ගෙන එන්නේ කණගාටුවක්ම තමයි. මොකද අපි ක්‍රීඩා කරන්නේ දිනන්නයි….ඒත් දකුණු අප්‍රිකානුවන් පරාජය කරන්න තරම් දෙයක් අපි කළේ නෑ….ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකින්ම ඔවුන් අපව පරාජය කළා” යයි සෙනසුරදා ලද පරාජයෙන් පසුව මැතිව්ස් පැවසීය.

මෙම තරගාවලියේදී පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටි මැතිව්ස් ඉනිම 6 කදී ලකුණු 178 ක් ලබාගත් නමුත් ඔහුගේ හොඳම ඉනිම වූයේ 59 කි. ඉනිමක සාමාන්‍යය 29.66 ක් විය. මැතිව්ස්ට අමතරව මෙම තරගාවලියේදී අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ සෙසු පිතිකරුවන් වන්නේ කුසල් මෙන්ඩිස් (58) සහ දිමුත් කරුණාරත්න (50) දෙදෙනා පමණි.“පිතිහරඹය නම් ගන්න දෙයක් නෑ. සේරම පිතිකරුවෝ, මාත් ඇතුළුව, අසාර්ථකයි.

අපි හැමෝම හොඳ ආරම්භයක් ගත්තා වුණත් කිසි කෙනෙක් ඒවා ලොකු ගණන් වලට පරිවර්තනය කළේ නෑ…මෙතන තියෙන කණගාටුදායක දේ ඒකයි”“පන්දු යවන්නන්ට අවස්ථාවක් දෙන්න නම් අපි ලකුණු පුවරුව ලකුණු එකතු කරන්න ඕනා” යයි ද මැතිව්ස් පැවසීය.පිතිකරුවන් අසාර්ථක වීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා නායකයා කීවේ ක්‍රීඩකයන්ගේ කැපවීමේ කිසිම අඩුවක් දක්නට නැති බවයි.“කැපවීම තියෙනවා…..ඒත් අපි තරගයට අවතීර්ණ වෙන විදිහ නැත්නම් අපේ අවධානය රඳවා ගැනීමේ කිසියම් අඩුවක් ඇති කියලයි මට හිතෙන්නේ….මේ වගේ පන්දු යවන්නන් බලඇණියකට එරෙහිව තරග කරන කොට අපිට වැඩි වේලාවක් අවධානය රඳවාගෙන ඉන්න සිදු වෙනවා. ඔවුන් දුර්වල පන්දු එතරම් දෙන්නේ නෑ විතරක් නෙමේ සෑම වෙලාවකම වගේ පන්දුව නිසි තැන පතිත කරනවා”“අපි ඒ ගැන තේරුම් අරගෙන, විමසිල්ලෙන් සිටිය යුතුයි. ඒත් අවාසනාවකට වගේ අපට ඒ දේ කරන්න ලැබුණෙ නෑ” යයිද මැතිව්ස් පැවසීය.

දකුණු අප්‍රිකානුවන් හමුවේ හිමිවූ මෙම පරාජය පිළිබඳ මැතිව්ස් මහත් කැළඹීමට පත්ව සිටී. ශ්‍රී ලංකා පිල මෙවන් පරාජයකට උරුම කම් කීවේ පිට පිටම ටෙස්ට් තරග 5 කදී ලබාගත් ජයග්‍රහණ 5 කට පසුවය. ශ්‍රී ලංකාවේදී ඕස්ටේ්‍රලියානුවන් 3-0 කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිමබාබ්වේහිදී සිම්බාබ්වේ කණ්ඩායම 2-0 කින් පරාජය කළහ. ඕස්ටේ්‍රලියානුවන් ශ්‍රී ලංකාවේදී පරාජය වන විට ඕස්ටේ්‍රලියානු පිල ටෙස්ට් ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 ස්ථානයේ සිටි කණ්ඩායම විය.දකුණු අප්‍රිකාව බලා යාමට පෙර ශ්‍රී ලංකා පිල පුහුණුවීම් සඳහා වැඩි ඉපිළීමකින් යුත්, තණකොළ සහිත තණතීරුද භාවිතා කළේය. එහෙත් දකුණු අප්‍රිකාවේදී තණකොළ සහිත තණතීරු මතදී කළ ගනුදෙනුව බේරා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට නොහැකි විය.“කොහොම වුණත් තරගාවලිය ජයගැනීමේ ගෞරවය දකුණු අප්‍රිකානුවන්ට හිමිවෙන්න ඕනේ. තරගාවලිය පුරාම ඔවුන් අති විශිෂ්ට දස්කම් පෙන්වවූවා..

”“අවංකවම මා කියන්න දන්නේ නෑ මොකද වුණේ කියලා. ඒත් එක දෙයක් පැහැදිළියි. අපේ රටේ තියෙන උෂ්ණත්වය නිසා මේ වගේ තණතීරු හදන්න අමාරුයි. අපි හොඳින් සූදානම් වුණත් ඒක මදි වුණා” යයිද මැතිව්ස් පැවසීය.ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි:20 තරගාවලිය මේ මස 20 වැනිදා ආරම්භ වේ. ජනවාරි 20, 22 සහ 25 යන දනවලදී එම තරග තුන පැවැත්වේ.

Rate this item
(0 votes)