May 04, 2024

දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 118 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

මේ තරගය පැවැත්වුණේ ජොහැන්නස්බර්ග්හිදී. ඊයේ තුන්වන දිනයට තරගය ආරම්භ කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටියා.

නොදැවී පිටියේ රැදී සිටියේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල්. නමුත් ඔවුන් දෙදෙනාටත් වැඩි වේලා පිටියේ රැදී සිටින්නට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 41 ක් තුළ දවා ගන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට හැකිවුණා. ශ්‍රී ලංකා පළමු ඉනිම සටහන් වුණේ සියල්ලන් දැවී ලකුණු 131 ක් ලෙස.

උපුල් තරංග ලකුණු 24 යි. පන්දු යැවීමේදී ෆිලැන්ඩර් සහ රබාඩා කඩුලු 3 බැගින් දවා ගත්තා. ඊට අමතරව පානෙල් සහ ඔලිවර් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 426 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළේ ලකුණු 295 ක් පසුපසින් සිටිමින්. කෙසේ වුවත් දෙවන ඉනිමේදී ඉතා ප්‍රාථමික පිතිකරණයක නිරත වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 177 කදී සිය ඉනිමට නැවතීමේ තිත තැබුවා.

යම් තරමකට හෝ සාර්ථක වෙමින් දිමුත් කරුණාරත්න ලකුණු 50 ක් රැස් කළා. ඊට අමතරව සුරංග ලක්මාල් ලකුණු 31ක් සහ උපුල් තරංග ලකුණු 26 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී පානෙල් කඩුලු 4 ක් සහ ඔලිවර් කඩුලු 3 ක් බිද හෙලුවා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ පෝල්ඩුමිනි. ඩීල් එල්ගාර් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබුවා.

Rate this item
(0 votes)