May 04, 2024

නවසීලන්තය තරඟාවලිය ජයගනී

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 27 කින් ජයගත් නවසීලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත ඕවර 20 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167 ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සෞම්‍ය සාර්කර් පන්දු 28 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 42 ක් රැස්කළ අතර සකීබ් අල් හසන් හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළේ පන්දු 34 කිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ටමීම් ඉක්බාල් (24) සහ සෞම්‍ය සාර්කර් සමත් වුවද, ඉන් අනතුරුව සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට සෙසු පිතිකරුවන් අසමත්වීම බංග්ලාදේශ කණ්ඩායමේ පරාජයට බෙහෙවින්ම බලපෑවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කෝරි ඇන්ඩසන් පන්දු 41 කදී නොදැවී ලකුණු 94 ක් රැස්කළේ හයේ පහර 10 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

නායක කේන් විලියම්සන් (60) සමග එක්ව නවසීලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 124 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඇන්ඩසන් සමත් වූ අතර රුබෙල් හුසේන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් විලියම්සන් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ. පන්දු 57 කදී වාර්තා වූ විලියම්සන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ රුබෙල් හුසේන් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ වඩාත් සාර්ථක පන්දුයවන්නා බවට පත්විය.

 

 
Rate this item
(0 votes)