May 04, 2024

සිංහයන්ට අසීරු ඉලක්කයක්

December 29, 2016

දකුණු අප්‍රිකාවේ පෝට් එළිසබෙත් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන ඊයේ තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 351 ක් රැස්කර තිබිණ.

මේ වන විට දකුණු අප්‍රිකානු පිල ශ්‍රී ලංකාවට වඩා ලකුණු 432 ක් ඉදිරියෙන් සිටින්නේය.

තේ පානයේ සිට තරගය නතර කරන තෙක් තාළය තුළදී ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකළ දකුණු අප්‍රිකානු පිතිකරුවෝ කඩුලු තුනක් දැවී ලකුණු 130 ක් රැස්කිරීමට සමත්වූ අතර හයවැනි කඩුල්ල සදහා ලකුණු 74 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට ක්වින්ටන් ඩී’කොක් (නොදැවී 42) සහ ෆෆ් ඩූ ප්ලේසි (නොදැවී 41) සමත්වූහ.

සිව්වැනි සහ පස්වැනි කඩුලු දෙක ලකුණු 10 ක් තුළදී දවාගනිමින් ශ්‍රී ලංකා පිලට තරමක සහනයක් ලබාදිමට ධනංජය ද සිල්වා සමත්විය.

සිය තුන්වන ටෙස්ට් ශතකය පන්දු 152 කදී හතරේ පහර 10 ක් සමගින් ලබාගත් ස්ටිවන් කුක් දවාගැනීමට දුෂ්මන්ත චමීර සමත්විය.

දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් දෙමින් ස්ටිවන් කුක් දැවියන විටදී ලකුණු 117 ක් රැස්කර සිටියේය.

තේ පානයට පෙර යවන ලද අවසන් පන්දුවේදී නුවන් ප්‍රදිප්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව හසීම් අම්ලා දැවියන විටදී අර්ධ ශතකයට ලකුණු දෙකක් පිටුපසින් සිටි අතර දෙවැනි කඩුල්ල සදහා ස්ටිවන් කුක් සමගින් එක්ව ලකුණු 105 ක සම්බන්ධතාවයක්ද පැවැත්විය.

සුරංග ලක්මාල් එවූ පන්දුවකට වැරෙන් පහරක් ගැසිමට ගොස් ඇන්ජලෝ මැතිව්ස් අතට උඩපන්දුවක් දෙමින් ඩීන් එල්ගා දැවීයන විටදී පළමු කඩුල්ල සදහා ස්ටීවන් කුක් සමගින් ලකුණු 116 ක සම්බන්ධතාවයක් පවත්වා තිබුණි.

දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු යුගලයක් තරගයක ඉනිම දෙකෙහිදීම පළමු කඩුල්ල සදහා ශතක සම්බන්ධතාවයක් පවත්වා තිබුනේ වසර 87 කට පසුව වීම සුවිෂේශී සිදුවිමකි. මීට පෙර 1929 දී බොබ් කැටරල් සහ බෲස් මිචෙල් විසින් මෙම දස්කම කළ පළමු සහ එකම දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් වූහ.

වර්ෂාව හේතුවෙන් නවතා තිබුණු තරගය නැවතත් මිනිත්තු 25 කට පමණ පසු ආරම්භවී තේ පානය තෙක් පැවැති කාළය තුළ කඩුලු දෙකක් දැවී ලකුණු 128 ක් රැස්කිරීමට කොදෙව් පිතිකරුවෝ සමත්වුහ.

දිවා ආහාරයෙන් පසුව පැයක පමණ කාළයක් තරගය පැවැති අතර එම කාළය තුළදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් නොදුන් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු යුගලය වන ඩීන් එල්ගා සහ ස්ටිවන් කුක් ලකුණු 45 ක් ලබාගැනීමට සමත්වූහ.

අයහපත් අලෝක තත්වය සහ අකුණු ගැසීම හේතුවෙන් තරගය මිනිත්තු 75 ක පමණ කාළයක් නතරකර තිබූ අතර එම කාළය තුළදී දිවා ආහාරය ගැනීමට විනිසුරුවරු තීරණය කළහ.

තරගය නතර කරනවිට කිසිවකු නොදැවී ලකුණු 39 ක් රැස්කිරීමට දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවෝ සමත්වූහ.

ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 3 ලකුණු 24 ක් තුළදී බිම දැමූ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 205 කට සීමා කරමින් ලකුණු 81 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්තේය.

දෙවන දිනයේ මනා සංයමයකින් පන්දුවට පහරදෙමින් සිටි ධනංජය ද සිල්වා ඊයේ දිනයේ යැවූ පළමු පන්දුවෙන්ම දවාගත් වර්නන් ෆිලැන්ඩර් එම ඕවරයේ අවසන් පන්දුවේදී සුරංග ලක්මාල්ද දවාගනිමින් කඩුලු පහ සම්පූර්ණ කිරීමට සමත්විය.

ෆිලැන්ඩර් කඩුලු පහ බැගින් අවස්ථා 11 කදී ලබාගෙන ඇත.

පිට ඉන්නෙන් ඉවතට ඇදීගිය පන්දුවකට පහරක් ගැසිමට ගිය දුෂ්මන්ත චමීර, හසීම් අම්ලා අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 19 කට දැවී ගියේය.

මුළු ලකුණු සංඛ්‍යාව 185 ක් වනවිට නවවැනි කඩුල්ල දැවියාමෙන් පසු අවසන් කඩුල්ල සදහා ලකුණු 20 ක සම්බන්ධතාවයක් පැවැත්වූ දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදිප් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 කඩයිම පැන්නවීමට සමත්වූහ.

Rate this item
(0 votes)