May 18, 2024

නව ක්‍රීඩා නීති සහ රෙගුලාසි සංශෝධනයට ඇමති සූදානම්

December 16, 2016
ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටු නිලධාරීන් සමග ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව වෙනස්‌කම් කරන ලද නව ක්‍රීඩා නීති සහ රෙගුලාසිවල ඇතැම් කරුණු යළිත් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මෙම වසර අවසන් වීමට පෙර 2016/10/27 වැනි දින සකස්‌ කරන ලද නව ක්‍රීඩා නීති සහ රෙගුලාසිවල ඇතැම් වගන්ති සංශෝධනය කරමින් සංශෝධිත ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කරන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
“ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටු නිලධාරීන් මා සමග සාකච්ඡා කළා. ඒ අය කිව්වා අවුරුදු 70 නීතිය සහ වසර හතර බැගින් දෙවරක්‌ සංගම්වල ඉහළ තනතුරු දැරීමට හැකි පරිදි සකස්‌ කරන ලද නීති සංගම්වල අභිමතය පරිදි ගන්න ඉඩ හරින්න කියලා. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙත් අවුරුදු 12 ක්‌ දක්‌වා ඉහළ නිලතලවල ඉන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ කිහිපයක්‌ අපි වෙනස්‌ කරනවා. ක්‍රීඩා සංගම්වලටත් ඒ බව දැනුවත් කරන ලෙස මම ලේකම්වරයාට උපදෙස්‌ දුන්නා.” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
ක්‍රීඩා ඇමැතිවරයා විසින් වසර ගණනාවක්‌ පුරා විසඳීමට නොහැකිව තිබූ ක්‍රීඩා පනතේ නීති සහ රෙගුලාසි සංශෝධනය කරමින් සකසන ලද නව ව්‍යවස්‌ථාවේ වයස අවුරුදු 70 නීතිය සහ පරිපාලන කාලය අවුරුදු හතර බැගින් අට දක්‌වා වීම සම්බන්ධයෙන් ක්‍රීඩා සංගම් බොහොමයක්‌ අකමැත්ත ප්‍රකාශ කොට තිබුණි. කෙසේ වෙතත් මාසයක්‌ ඇතුළත ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩා සංගම්වලට නව ව්‍යවස්‌ථාවේ රෙගුලාසි ඇතුළත් කර ගන්නා ලෙසට දැන්වුවද එයට ක්‍රීඩා සංගම් බහුතරයක්‌ විරෝධය පළ කර තිබේ.
 
නව ව්‍යවස්‌ථාව යළිත් සංශෝධනය කිරීමෙන් පසුව ඔලිම්පික්‌ නිලවරණය පැවැත්වීම කෙරෙහි ඇමැතිවරයා අවධානය යොමු කර සිටි. ඉදිරි සතිය තුළ සියලුම ක්‍රීඩා සංගම්වලට සංශෝධනය කරන ලද ගැසට්‌ පත්‍රය පරිදි ව්‍යවස්‌ථාව සකසා ගැනීමට හැකි පරිදි කඩිනමින් සියලු කටයුතු සකස්‌ කිරීමට ඇමැතිවරයා කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Rate this item
(0 votes)