May 18, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු කොහිද?

December 15, 2016
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු රජිත් ප්‍රනාන්දු මහතාගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීම හේතුවෙන් එහි මාධ්‍ය අංශයේ වැඩකටයුතු අඩපණ වී තිබේ. 
 
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී හෙට ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණද මෙතෙක් ඒ සඳහා වන සූදානම පවතිනුයේ බොහෝ මන්දගාමීවයි.
 
කෙසේ වෙතත් එම මන්දගාමීත්වය තහවුරු කරන තවත් එක් කරුණක් වනුයේ, මේ වනතුරුත් ඔවුන්ට 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයවත් මාධ්‍ය වෙත යොමුකිරීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී තිබීම හේතුවෙනි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ රජිත් ප්‍රනාන්දුගේ කොන්ත්‍රාත් කාලය මේ මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති අතර, ඔහු තම ලබානොගත් නිවාඩු ලබාගනිමින් සේවයට සමුදී ඇතැයි වාර්තා වේ.
 
ක්‍රිකට් මාධ්‍ය කළමනාකරුගේ මෙම හදිසි තීරණය හේතුවෙන් ඔහු ඉවත්ව යෑමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයේ වගකිව යුතු එසේත් නැතිනම් මාධ්‍යයට විශ්වාසනීය තොරතුරු ලබාගත හැකි පුද්ගලයෙකු ඒ තුළ වේද යන්න ගැටලුවක් මතුව තිබේ.
 
ක්‍රිකට් ආයතනයේ වත්මන් බලධාරීන් ක්‍රිකට් මාධ්‍ය අංශය රායි රේමන්ඩ් මහත්මියට භාරදී ඇතැයි සඳහන් වන අතර, ඇයගෙන් මාධ්‍යයට ලැබෙනුයේ පළමු පෙළ තරගාවලිය පිළිබඳ මාධ්‍ය නිවේදන පමණි. 
 
එසේම 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව පවතින සූදානම හෝ කණ්ඩායම් පිළිබඳව හෝ තරගාවලිය පැවැත්වෙන ආකාරයක් මෙතෙක් මාධ්‍යයට යොමුකිරීමට ඇය අපොහොසත්ව සිටින්නීය.
 
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයට නිල වශයෙන් කළමනාකරුවෙකු පත්කිරීම ජනවාරි මස සිට සිදුකෙරෙනු ඇතැයි සඳහන් වන අතර, මාධ්‍ය අංශයේ පවතින ව්‍යාකූල තත්ත්වය හා මාධ්‍යයට තොරතුරු දැනගැනීමේ අවස්ථාව එතෙක් පැහැර හැරීමටද වත්මන් ක්‍රිකට් ආයතන බලධාරීන් කටයුතු කර තිබේ.
 
විශේෂයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිල ගොඩනැගිල්ල ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති මෙවැනි අවස්ථාවක 19න් පහළ ආසියානු කුසලානය පිළිබඳ තොරතුරුවත් ලබාගැනීමට අද මාධ්‍යයට නොහැකිව තිබේ. 
 
එහෙත් රජිත් ප්‍රනාන්දු මාධ්‍ය කළමනාකරුව සිටියදී එම සියලු තොරතුරු කඩිනමින් හා විශ්වාසනීයව මාධ්‍ය වෙත නිල වශයෙන් නිකුත් කිරීම සිදුකළේය. අද වනවිට ඒ සියල්ල අඩපණ වී තිබේ. ඒ නිසා අපට අසන්නට සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු කොහිද? යන්න පමණි. 
 
එනිසා අයාලේ දුවන ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයට බලපා තිබෙන මෙම ගැටලුවට වත්මන් ක්‍රිකට් බලධාරීන් කඩිනමින් විසඳුමක් ලබාදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.
Rate this item
(0 votes)