May 18, 2024

අද සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තනතුරු රැසක් වෙනස් වෙයි

December 07, 2016

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම තනතුරු දරන කොන්ත්‍රාත් සේවකයන් 08 දෙනෙකුගේ සේවය අවසන් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර කාල්ටන් බර්නාඩ්ස්, ලසිත මෙන්ඩිස්, සිදත් ප්‍රනාන්දු, රජිත් ප්‍රනාන්දු යන කළමනාකරුවන් ද වන බව වාර්තා වේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙකු වන ප්‍රනීත් වීරසිංහ හා ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොටට ස්ථාන මාරුවක් ලද ජ්‍යෙෂ්ඨ පුහුණුකරු මංජුල මහතාගේ සේවා කොන්ත්‍රාත්තු ද දීර්ඝ නොකිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇතැයි සඳහන් වේ. 

මෙම සියලු තනතුරු පිළිබඳ අවසන් තීරණය අද (07) පැවැත්වෙන පරිපාලන කමිටු රැස්වීමේදී ගැනීමට නියමිතව තිබේ.

එහිදී පසුගියදා (05) සේවා කොන්ත්‍රාත්තුව නිමා වූ ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගේ කොන්ත්‍රාත්තුව පමණක් දීර්ඝ කිරීමට පියවර ගන්නා බව විමසීමකදී ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් කළමනාකරු එම ධුරයෙන් ඉවත් කිරීමටද මේ වනවිට කටයුතු සම්පාදනය වී ඇති අතර, ඔහුට එරෙහිව විනය චෝදනා එල්ල වීම මත ඔහු අදාළ ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට නව කළමනාකරුවෙකු පත්කරන බව වාර්තා විය.

එහිදී ජෙරොම් ජයරත්න මහතා කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇතැයි හෙළිවන අතර, ප්‍රධාන විධායක නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු ඒ සඳහා පත් කිරීමට වැඩි ඉඩක් පවතින බවද සඳහන් වේ. 

මේ අතර මෙතෙක් වසර 05කට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ රජිත් ප්‍රනාන්දු මහතාගේ සේවා කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකර ජාතික පුවත්පතක අලෙවි අංශයේ හිටපු සේවකයෙකු අදාළ තනතුරට පත් කිරීම සඳහා අද දිනයේ පැවැත්වෙන පරිපාලන කමිටු රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බවද වාර්තා වේ. 

මීට අමතරව මේ වනවිට වයස අවුරුදු 57 සම්පූර්ණ කර ඇති දේශීය ක්‍රිකට් පරිපාලනය භාරව ක්‍රියා කළ කාල්ටන් බර්නාඩ්ස් මහතාගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව අවුරුදු 57 ට වැඩි සේවකයන් සේවයෙන් විශ්‍රාම යා යුතු බැවිනි. එහෙත් ක්‍රිකට් උපදේශකයකු ලෙස මේ වනවිට පත්කරගෙන ඇති ක්‍රිෂාන්ත ද සිල්වා මහතාට වයස අවුරුදු 80 ක් පමණ වන බවත්, බර්නාඩ්ස් මහතාට බලපාන නීතිය ක්‍රිෂාන්ත මහතාට බලනොපාන්නේ ඇයිද යන්න ගැටලුවත් පැන නැගී තිබේ. කෙසේවෙතත් ඊයේ (06) දිනයේදී කාල්ටන් මහතා ක්‍රිකට් ආයතනයේ බොහෝ සේවකයන්ට ලිඛිතව ස්තුතිය පළ කරමින් ක්‍රිකට් ආයතනයට සමු දී තිබේ.

පසුගිය 05 වැනිදායින් සේවා කොන්ත්‍රාත්තුව නිමා වූ කාල්ටන් බර්නාඩ්ස් හා මූල්‍ය අංශයේ ප්‍රධානියා වන චන්ද්‍රමාලි කෝරාළ යන අයගෙන් චන්ද්‍රමාලිගේ සේවා කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමටද ක්‍රිකට් ආයතනය මේ වනවිටත් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සඳහන් කළේ සේවක කොන්ත්‍රාත්තු දීර්ඝ කිරීම හෝ නිම කිරීම සඳහා ඔවුන්ගේ කාර්ය ඵල ඇගයීමක් සිදුකරන බවයි.

එනමුත් මේ වනවිට කිසිදු අයුරකින් එවැන්නක් සිදුව නොමැති බව වාර්තා වන අතර, අලුතෙන් බඳවාගත් (ක්‍රිකට් මාධ්‍ය ලේකම් ධුරයට) අය සඳහා නිසි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පවා පසෙකට දමා ඔවුන් අදාළ තනතුරු සඳහා නිර්දේශ කර ඇතැයිද අනාවරණය වේ. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 December 2016 13:37