May 18, 2024

නත්තල වෙනුවෙන් නුවරඑළිය තුරඟ තරග 11දා

December 07, 2016

රාජකීය තුරඟ සමාජය විසින් මෙම වසරේදීත් සංවිධාන කරන උත්කර්ශවත් අවසන් තුරඟ තරඟ නත්තල් අසිරිය වෙනුවෙන් නම් කොට තිබේ.

මෙතෙක් පැවැති තුරඟ තරගවලට වඩා වෙනස් අයුරින් සංවිධාන කොට ඇති නත්තල් උදාවේ තුරඟ තරගවලට මුල් වරට ක්‍රීඩිකාවක් එක්වීම විශේෂත්වයකි.

ඉන්දීය ජාතික එන්. රූපා නම්වූ එම ක්‍රීඩිකාව මෙතෙක් සහභාගීවූ ක්‍රීඩකයන් සමග මෙවර තුරඟ තරග පිටියට එක්වීම කාගේත් අවධානය දිනාගනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙවර තරගාවලිය සඳහා ඉන්දියාවෙන් ගෙන්වන ලද අශ්වයන් 30කට අධික සංඛ්‍යාවක් තරග වැදීමට නියමිතය.

පසුගිය කාලයේ ජයග්‍රහණ කිහිපයක්ම හිමිකරගත් රියෙන්සි එඩ්වර්ඩ් හා පූර්ණී එඩ්වර්ඩ් මහත්ම මහත්මීන් සතු අශ්වයන් මෙවර ජයගන්නා සියලු මුදල් පිළිකා මර්දන අරමුදල වෙත පරිත්‍යාග කරන බව පවසයි.

එමෙන්ම මෙතෙක් වැඩිම ජයග්‍රහණ හිමිකරගෙන සිටින දීප්තිකා ජයකොඩි මෙනවිය ජය ගන්නා මුදලින් අඩක් නුවරඑලිය 'පෝනී' සංගමයට පිරිනමන බව පවසන්නීය.

තරග නැරැඹීමට එන සියලු ප්‍රේක්ෂකයන්ට මෙන්ම කුඩා දරුවන්ට තෑගි රැසක් පිරිනමන බව රාජකීය තුරඟ සමාජය සඳහන් කර සිටී.

නත්තල් සීයා පිරිනමන තෑගි ඇතුළු නරඹන්නන් වෙනුවෙන් රැපියල් ලක්ෂ 10ක තෑගි තුරඟ තරග අතරතුරදී පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

පසුගිය තරගාවලියේදී විවේකයෙන් සිටි 'රොස්වර්ල්ඩ්' හා 'චාලිමේන්' මෙවර තරගවදින අතර චමරී ජයරත්න, හසංග ජයරත්න, ගාමිණී ජයරත්න, චරනී සූරියගේ, ඩී. ගුරුගේ, ඉරුගල් බණ්ඩාර, අනුර දෙල්ගොඩ, රියෙන්සි එඩ්වර්ඩ් හා පූර්ණී එඩ්වර්ඩ්, දීප්තිකා ජයකොඩි, අනූක සෝසා මහත්ම මහත්මීන්ගේ අශ්වයන් තරගාවලියට එක්වෙති.

ඉන්දියාවේ රෝයල් කල්කටා තුරඟ සමාජයේ විස්තර විචාරක අනීට් කාසියබ් මහතා මුල්වරට ශ්‍රී ලංකාවේ සිට තුරඟ තරග විස්තර විචාරයකට සම්බන්ධවීමද මේ තරගාවලියේ විශේෂත්වයකි.

මෙවරද අශ්වයන්ගේ තහනම් උත්තේජක පරීක්ෂණ සිදුකිරීමට ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනය සූදානමින් සිටී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 December 2016 09:16