May 18, 2024

හෂාන්ට සහ චන්දනට ක්‍රිකට් ආයතනයේ තනතුරු

December 05, 2016

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු විශිෂ්ඨතම පිතිකරුවකු වන හෂාන් තිලකරත්න පිතිහරඹ පුහුණුකරුවකු ලෙසින් පත්කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අති දක්‍ෂ පන්දු රකින්නකු වූ උපුල් චන්දන පන්දු රැකීමේ පුහුණුකරුවකු ලෙසින් පත්කර තිබේ.

පුදුමයට කාරණය නම් මේ දෙදෙනාගෙන් කිසිවකුට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කාර්යයන් පැවරී නොතිබීමයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද විමසීමේදී දැනගත හැකිවූමේ මෙම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාට පැවරී ඇත්තේ පිට පළාත් වල පුහුණු කඳවුරු පවත්වමින් රටේ විසිරී සිටින දක්‍ෂ ක්‍රීඩකයන් එක්රැස් කරගැනීම බවයි.

ටෙස්ට් තත්ත්වය හිමිවීමෙන් පසුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වමත් වේග පන්දු යවන්නා වන චමින්ද වාස් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පන්දු යවන්නන් පුහුණුකරුවකු වශයෙන් පත්කරනු ලැබ ඇතත් චමින්ද වාස්ටද ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්යයන් පැවරී නැත. චමින්ද වාස්ගේ වගකීම වන්නේද පිට පළාත් වලින් පන්දු යවන්නන් සොයාගෙන පැමිණීමයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කළ විමසීමකදී දැනගත හැකිවූයේ හෂාන් තිලකරත්න මහතා මෙන්ම උපුල් චන්දන මහතාද උසස් දස්කම් කළමණාකරු යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විද්‍යායතනයේ සේවය සඳහා අනුයුක්ත කෙරෙන බව දැනගන්නට ලැබිණ. ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් දැනගන්නට ලැබුණේ මාවන් අතපත්තුද නැවතත් පුහුණු කාර්ය මණ්ඩලයට එක්වීමට බොහෝ ඉඩ ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිහරඹ පුහුණුකරුවා වූයේ මාවන් අතපත්තුය. පසු කලෙකදී මාවන් අතපත්තු ශ්‍රී  ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු බවටත් ඉන් අනතුරුව ප්‍රධාන පුහුණුකරු බවට පත්වූයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිහරඹ පුහුණුකරුවකුගේ අවශ්‍යතාවක් නොදැනිණ.

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවා වශයෙන් චම්පක රාමනායක මහතා කටයුතු  කරන අතර පන්දු රැකීමේ පුහුණුකරුවා වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික නික් පොතාස් මහතා කටයුතු කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 December 2016 09:18