May 18, 2024

'ටෙන්ඩර්කරුවන් චෝදනා එල්ල කිරීම සාධාරණ නෑ' – දයාසිරි කියයි

December 01, 2016

ක්‍රීඩා අමාත්‍යාංශ ටෙන්ඩර් මණ්ඩලය විසින් සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය එළිමට ටෙන්ඩර්කරු තෝරාගනු ලැබීමේ දී පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට චෝදනා තිබේනම් ඒ පිළිබඳ ප්‍රසම්පාදන මණ්ඩලයට අභියාචනාවක් ඉදිරිපත් කිරිමේ අවස්ථාව සෙසු ටෙන්ඩර්කරුවන්ට ලබා දී තිබියදිත් ඒ සම්බන්ධව විවේචන එල්ල කිරීම සාධාරණ නොවන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

'සුගතදාස ධාවන පථයේ ටෙන්ඩරය අභියෝගයට ලක්වෙයි' යන මැයෙන් srilankasports හි පළවූ ලිපි සම්බන්ධව විෂය භාර අමාත්‍යවරයා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

"මේ ලිපිය පළවීමෙන් පසුව මා ඒ සම්බන්ධව කරුණු සොයා බැලුවා. ඇත්තටම ටෙන්ඩර් මණ්ඩලය මේ කාර්යය නිවැරැදිව සිදු කළාද..? නැද්ද..? කියා මම දන්නෙ නෑ. නමුත් එවැනි දෙයක් සිදුවී තිබේනම් ඒ ගැන ප්‍රසම්පාදන මණ්ඩලයට අභියාචනා කිරීමේ අවස්ථාවක් සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව ප්‍රතික්ෂේප වූ සෑම ටෙන්ඩර්කරුවකුටම ලැබෙනවා. ඒ නිසා එවැනි අභියාචනාවක් ඉදිරිපත් කිරීමට පෙර මේ විදිහට විවේචන එල්ල කිරීම මං හිතන්නේ එතරම් සාධාරණ ක්‍රියාවක් නෙවෙයි.’ ක්‍රීඩා අමාත්‍යවරයා කීවේය.

සුදුසුකම් තියෙන අය පස්දෙනෙක් ඉල්ලුවා. ඉන් දෙදෙනකුගේ හෝ තිදෙනකුගේ ටෙන්ඩර් අයැදුම්පත් මූලික වටයේදිම ප්‍රතික්ෂේප වුණේ අවශ්‍ය සුදුසුකම් නැති නිසායි. සමහරු අසම්පුර්ණ අයැදුම්පත් යොමු කොට තිබෙනවා. මට මේ ගැන ප්‍රකාශ ඉදිරිපත් කරන්න අවශ්‍යතාවක් නෑ. මොකද මට එයාලට බාධා කරන්නවත්, ටෙන්ඩර් ක්‍රියා පටිපාටියට අනවශ්‍ය බලපෑම් කරන්නවත් අවශ්‍යතාවක් නෑ. මම මේ ගැටලුවට මැදිහත් වෙන්නෙ නැ" දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානි මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා මේ තාක්ෂණය සම්බන්ධව හසල දැනුමක් ඇති පුද්ගලයකු බව පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා ගැටලුව මතුවී ඇත්තේ නිවැරැදි ක්‍රමයට ටෙන්ඩර් අයැදුම්පත යොමු නොකිරීම හේතුවෙන් බව කියා සිටියේය.

එමෙන්ම මේ ටෙන්ඩර් දැන්වීමට අනුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ සහතික ලත් පළමු ශ්‍රේණියේ කෘත්‍රිම ධාවන පථ 10ක් අවම වශයෙන් එළා තිබිය යුතු බවට අමතරව දකුණු ආසියාවේ එවැනි ධාවන පථයක් එළා තිබීමේ සුදුසුකම සපුරා ඇත්තේ අදාළ ටෙන්ඩර්කරු පමණක් නොව තවත් ටෙන්ඩර්කරුවන් දෙදෙනකුට හෝ තිදෙනකුට එවැනි සුදුසුකම් තිබූ බව ද හෙතෙම පැවැසීය.

"මම ටෙන්ඩර් මණ්ඩලයට කියා සිටියේ මට සුදුසු කෙනෙක් තෝරා දෙන්න කියලයි. ඒ වගේම මේ ටෙන්ඩරය කැඳවීමට කළින් එයාලා මාස හතරහමාරක කාලයක් තිස්සේ ඊට සූදානම් වුණා. ඒ ගැන මා විමසූ විට ඔවුන් කියා සිටියේ මෙය ඉතා නිවැරැදි හා විනිවිද පෙනෙන ස්වභාවයකින් යුතුව සිදුකිරීමට අවශ්‍ය නිසා කාලය ගත වන බවයි. මට මේ ටෙන්ඩරය කාට දුන්නත් ප්‍රශ්නයක් නැ. කවුරු ආවත් ප්‍රශ්නයක් නෑ. මට අවශ්‍ය වෙන්නේ නිවැරැදි ක්‍රමවේදයට අනුව ධාවන පථය එළීම සිදුකළ හැකි ටෙන්ඩර්කරුවකු තෝරා ගැනීම පමණයි.’ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මම ටෙන්ඩර් මණ්ඩලයේ වැඩවලට බාධා කරන්න යන්නෙ නැ. මෙතැන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවනේ. ඒ ක්‍රමවේදයට අනුව කටයුතු කරන්න ඉඩ දිය යුතුයි. විනිවිදභාවයකින් යුතුව වැඩ කටයුතු සිද්ධවෙන රජයක් දැන් තියෙන්නේ. ඒනිසා ක්‍රමවේදයට අනුව එය සිද්ධවේවි. ප්‍රතික්ෂේප වූ අයට ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිඩා ඇති අභියාචනා මණ්ඩලයට අභියාචනා ඉදිරිපත් කරන්න අවස්ථාව දිලානේ තියෙන්නේ. අනික මේ ටෙන්ඩරයෙන් තෝරාගැනීම මම කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව තමයි ඉදිරි වැඩකටයුතු සිදුවන්නේ" ක්‍රීඩා අමාත්‍යවරයා කීවේය.

"ඒ වගේම මම ටෙන්ඩර් මණ්ඩලයට දැනුම් දුන්නා එළීමට භාවිත කරන අමුද්‍රව්‍ය නිෂ්පාදිත රට නිවැරැදිව ටෙන්ඩර්කරුවන් සඳහන් කළ යුතුයි කියා. ඒ වගේම ඊට රක්ෂණ ආවරණයකුත් අවශ්‍ය බව මම දැනුම් දුන්නා. මේක නිවැරැදි තාක්ෂණය අනුව සිදුවිය යුතු ක්‍රියාවක්. ඒ ගැන ටෙන්ඩර්කරුවන්ට අවබෝධයක් තිබිය යුතුයි. මම මේ ගැන හොඳින් අධ්‍යයනය කළා. සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය එළීමේ කාර්යය ඉතා සංකීර්ණ එකක්. එය නිවැරැදි ක්‍රියා පිළිවෙතකට අනුව සිදුවිය යුතු දෙයක්. නැතිනම් ධාවන පථය එළීමෙන් පසුව පස යටින් ඇති ජලය උනා බුබුලු මතුවීමට පටන් ගනීවි. ඒ නිසා හරි ක්‍රමවේදයකට ඒක එළන්න ඕනා. මෙන්න මේකයි ක්‍රමය කියලා, ජලය මතුපිටට නොඑන ආකාරයෙන් කෘත්‍රිම ධාවන පථය එළිය යුත්තේ මෙහෙමයි කියලා එයාලා පැහැදිලිව සඳහන් කළ යුතුයි" ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 December 2016 15:11