May 18, 2024

සුගතදාස ධාවන පථයේ ටෙන්ඩරය අභියෝගයට ලක්වෙයි

November 29, 2016

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩලය සිදුකළ ටෙන්ඩර් කැඳවීමකට අනුව සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය එළීමේ (RE-LAYING) කොන්ත්‍රාත්තුව බාර දීමට තෝරා ගෙන සිටින ඉදිකිරීමේ සමාගමට ඒ සඳහා ඇති සුදුසුකම් අභියෝගයකට ලක් කරමින් සෙසු ටෙන්ඩර්කරුවන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා වෙත විරෝධතාවක් ඉදිරිපත් කොට ඇතැයි වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් මස 12 වැනිදා පුවත්පත් දැන්වීමක් මගින් ටෙන්ඩර් කැඳවීමේ දී ඊට සුදුසුකම් වශයෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ සහතික ලත් පළමු ශ්‍රේණියේ කෘත්‍රිම ධාවන පථ 10ක් අවම වශයෙන් එළා තිබිය යුතු බවට වන කොන්දේසියට අමතරව දකුණු ආසියාවේ එවැනි කෘත්‍රිම ධාවන පථයක් එළා තිබිය යුතු බවට තවත් අමතර කොන්දේසියක් පැනවීමෙන් එවැනි ධාවන පථයක් එළා ඇති එකම ටෙන්ඩර්කරු වන දැනට තෝරාගෙන ඇති ඉදිකිරීමේ සමාගමට පක්ෂග්‍රාහී අන්දමින් ටෙන්ඩර් මණ්ඩලය කටයුතු කොට ඇතැයි චෝදනා එල්ලවී තිබේ.

එමෙන්ම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ඉදිකිරිම් සංවර්ධන අධිකාරයේ ශ්‍රේණිගත කිරීමට අනුකූලව කැඳවනු ලැබු මේ ටෙන්ඩරයට එම ශ්‍රේණිගත කිරිම්වල CS1, CS2, C1 සහ C2 කාණ්ඩවල ඉහළ මට්ටමේ ඉදිකිරීම් සමාගම් 70ක් පමණ තිබියදී මේ ටෙන්ඩරයට C3 වැනි පහළ ශ්‍රේණියේ ඉදිකිරීම් සමාගම්වලටත් අයැදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර දැනට තෝරාගෙන ඇති ඉදිකිරීමේ සමාගම පසුවන්නේ C3 ශ්‍රේණියේ බැවින් ටෙන්ඩර් මණ්ඩලය ඒකපාක්ෂිකව කටයුතු කොට ඇති බව තහවුරු වන්නේ යැයි විරෝධතා ඉදිරිපත් කළ සෙසු ටෙන්ඩර්කරුවන්ගේ චෝදනාව වී තිබේ.

රුපියල් මිලියන 350තට ආසන්න මුදලක වටිනාකමකින් යුතු ටෙන්ඩර් කැඳවීමකට ඉදිරිපත් වීමට C3 ශ්‍රේණියේ ඉදිකිරීම් සමාගමකට සුදුසුකම් නොමැතිවීම බව ද ඔවුහු පෙන්වා දෙති. ජල සැපයුම් සහ කානු පද්ධති සකස් කිරීමේ සමාගම් C3 ශ්‍රේණියේ සිටින අතර ඔවුන්ට ඉදිරිපත් කළ හැකි ටෙන්ඩර් වටිනාකම මිලියන 300කට සිමා කොට තිබේ. එවැනි තත්ත්වයක් යටතේ ඉහත කී ඉදිකිරීමේ සමාගම සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය එළීමට තෝරාගැනීමෙන් ටෙන්ඩර් මණ්ඩලය ඒකපාක්ෂිකව කටයුතු කොට ඇති බව පැහැදිලි කරුණක් බව විරෝධතාව ඉදිරිපත් කළ සෙසු ටෙන්ඩර්කරුවන් පවසති.

ප්‍රසම්පාදන මණ්ඩල නිතියට අනුව මෙසේ පක්ෂග්‍රාහීව ටෙන්ඩර් කැඳවීමක් සිදුකිරීමට නොහැකි අතර දැනට තෝරාගෙන ඇති ඉදිකිරීමේ සමාගමට ටෙන්ඩරය ලබාදීමට එරෙහිව විරෝධතා ගොනු කිරීමේ කාලය දෙසැම්බර් 2 දින දක්වා ලබා දී ඇති බැවින් මේ පිළිබඳ ප්‍රසම්පාදන මණ්ඩලයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට සෙසු ටෙන්ඩර්කරුවන් බලාපොරොත්තුවෙන් පසුවන බව ද වාර්තා වෙයි.

සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය එළීමට ටෙන්ඩර්කරුවන් 6 දෙනකු ඉදිරිපත්වී ඇති අතර සෙසු ටෙන්ඩර්කරුවන් 5 දෙනා ප්‍රතික්ෂේප කිරීමට ටෙන්ඩර් මණ්ඩලය පියවර ගෙන ඇත්තේ කිනම් පදනමක් යටතේ දැයි ගැටලුවක් මතුවන බව ද ඔවුහු පෙන්වා දෙති.

මාස කිහිපයකින් අබලන් වූ සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය එලන ලද ඉදිකිරිමේ සමාගම අසාදු ලේඛනගත කොට ඇති අතර ඊට පෙර වසර 10කට ආසන්න කාලයක් නියමිත ප්‍රමිතියකින් තිබූ ධාවන පථය සකස් කළ ඉදිකිරිමේ සමාගම මෙවර ඉදිරිපත් කොට තිබූ ටෙන්ඩර් අයැදුම්පත ටෙන්ඩර් මණ්ඩලය ප්‍රතික්ෂේප කොට ඇත්තේ අවශ්‍ය ලකුණු ප්‍රමාණය සම්පුර්ණ කිරීමට අසමත්වූ බව කියමිනි. සෙසු ටෙන්ඩර්කරුවන්ගේ අයැදුම්පත් සුදුසුකම් සපුරා නොමැති බව කියමින් ප්‍රතික්ෂේප කොට ඇති අතර තෝරාගත් ඉදිකිරීමේ සමාගමට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබී ඇති ආකාරය ද හාස්‍යයට කරුණක් බවට තවත් චෝදනාවකි.

මේ අතර දැනට තෝරාගෙන ඇති ඉදිකිරීමේ සමාගම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ සහතික ලත් පළමු ශ්‍රේණියේ කෘත්‍රිම ධාවන පථ 10ක් අවම වශයෙන් එළා තිබිය යුතු බවට වන කොන්දේසියට අමතරව ටෙන්ඩර් මණ්ඩලය අතිරේකව එකතු කළ දකුණු ආසියාවේ එවැනි කෘත්‍රිම ධාවන පථයක් එළා තිබිය යුතුවීමේ කොන්දේසිය සපුරා තිබීම ද ගැටලු සහගත බව වාර්තා වෙයි.

ඔවුන් සපුරා ඇතැයි පවසන ඉන්දියාවේ නව දිල්ලි නුවර ජවහර්ලාල් නේරූ ක්‍රීඩාංගණයේ එළන ලද ධාවන පථය වසර 2010 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් සිදුකළ එකක් වන අතර එම කොන්ත්‍රාත්තුව ලබාගත් ඉන්දීය ඉදිකිරීමේ සමාගම හා ඒ කාලයේදී ඒකාබද්ධව සිටි මේ වනවිට සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය එළීමේ ටෙන්ඩරය බාරදීමට තෝරාගෙන ඇතැයි කියන සමාගම ඉන්දීය සමාගමෙන් ඉවත්වී ඇත්තේ පසුගිය 2013 වසරේදීය.

එබැවින් සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය එළීමට ටෙන්ඩර් මණ්ඩලය අතිරේකව පනවනු ලැබූ කොන්දේසියට අනුව ඔවුන් වෙනත් ඉදිකිරීමේ සමාගමක් සමග ඒකාබද්ධව ලබාගත් ටෙන්ඩරයක සුදුසුකම් භාවිතා කිරීම වලංගු වන්නේ නැති බවට ද චෝදනා එල්ලවී තිබේ.

මෙහි විශේෂිතම කරුණ වන්නේ ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේ සකස් කළ කෘත්‍රිම ධාවන පථය මේ වනවිට අබලන් තත්ත්වයක පවතින බැව් එරට පාර්ලිමේන්තු කණ්ඩායමක් විසින් කරනු ලැබූ නිරික්ෂණයකට අනුව අනාවරණය වී තිබීමය. වසර 6කට පෙර එළන ලද කෘත්‍රිම ධාවන පථයක් එසේ අබලන් තත්ත්වයට පත්වීම පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ එරට පාර්ලිමේන්තු කණ්ඩායම ඉන්දීය ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇතැයි ද වාර්තා වෙයි.

මේ අතර 2016 සැප්තැම්බර් 22 දාතමින් යුතුව (ටෙන්ඩර් කැඳවීමට පෙර සති දෙකකට පෙර ) ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ව්‍යාපෘති සාමාන්‍යධිකාරි (අතිරේක) අස්සනින් යුතුව කොළඹ ඇති ක්‍රීඩා පිටියක ධාවන පථය නැවත එළීමට එක් වර්ග අඩියකට මිළ ගණන් කෙසේදැයි ජාත්‍යන්තර ඉදිකිරීමේ සමාගමකින් කරුණු විමසීමක් කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය එළීමේ ටෙන්ඩර් කැඳවීමට පෙර ජාත්‍යන්තර සමාගම්වලින් එසේ මිළගණන් විමසීම කුතුහලය දනවන්නක් බවත්, එය දැනට තෝරාගෙන ඇති ඉදිකිරීමේ සමාගමට වාසිදායක අයුරින් ටෙන්ඩරය ලබාදීමේ කුමන්ත්‍රණයක කොටසක් විය හැකි බව ද ටෙන්ඩර්කරුවන් චෝදනා කරති.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 November 2016 09:39