May 18, 2024

මුදල් නොමැති නිසා තරඟ අවස්ථාව අහිමි වෙලා

November 27, 2016

දෙසැම්බර් මස 2 වැනිදා සිට 12 වැනිදා දක්වා රුසියාවේ සොචි නගරයේදී පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය මුදල් නොමැති වීමෙන් දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 කට ආසන්න සංඛ්‍යාවකට එම තරගාවලිය අහිමිවී තිබේ.

කෙසේ වෙතත් පෞද්ගලික මට්ටමෙන් මුදල් සොයා ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 14 දෙනෙක් සහ නිලධාරීහු තිදෙනෙක් මෙම තරගාවලියට සහභාගිවීමට සූදානමින් සිටිති.

මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ගුවන් ප්‍රවේශපත් ඇතුළු වියදම් වෙනුවෙන් ක්‍රීඩකයකුට රුපියල් ලක්‍ෂ 3 කට අධික මුදලක් වැය වන බව ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ නිලධාරියෙක් පැවසීය.

ඒ නිසාම ආර්ථික දුෂ්කරතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියට අයැදුම් කිරීමෙන් වැළකී ඇති බවත් වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් වයස 15 න් පහළ බාලක අංශයේ ක්‍රීඩකයකු පමණක් මෙම තරගාවලියට සහභාගි වන අතර එම කාණ්ඩයේ දක්‍ෂ ක්‍රීඩකයන් සිවුදෙනකුම මුදල් නොමැති වීමෙන් තරගාවලිය අත්හැර තිබේ. වයස 15 න් පහළ බාලිකා අංශයෙන් ක්‍රීඩිකාවෝ සිවුදෙනකු සහභාගි වෙති. වයස 13 න් පහළ බාලක අංශයෙන් ක්‍රීඩකයෝ 5 දෙනෙක්ද මෙම තරගාවලියට සහභාගි වෙති.

ශ්‍රී ලංකාවේ වයස 15 න් පහළ වයස් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ක්‍රීඩකයකු වන ශ්‍රී ලංකාවේ පළමු සහ එකම පාසල් ෆිඬේ මාස්ටර් ක්‍රීඩකයා වන සසිත් නිපුන් පියුමන්ත මෙම තරගාවලියෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ. ඔහුට ෆිඬේ මාස්ටර් තත්ත්වය හිමිවී ඇත්තේ වසර කිහිපයකට ඉහතදී පැවැති ආසියානු පාසල් චෙස් තරගාවලියේදී රන් පදක්කමක් දිනාගැනීම වෙනුවෙනි.

වයස 15 න් පහළ බාලිකා අංශයේ පළමු ස්ථානයේ සිටින මීගමුව ආවේමරියා කන්‍යාරාමයේ රොෂෙල් නතාෂා ද අනුග්‍රහකයකු නොමැති වීමෙන් මෙම තරග සංචාරයෙන් ඉවත්ව සිටින්නීය.

වයස 9 න් පහළ පළමු ස්ථානයේ සිටින කොළඹ විචලි ජාත්‍යන්තර පාසලේ අෂ්විනි පවලචන්ද්‍රන්, වයස 7 න් පහළ බාලක පළමු ස්ථානයේ සිටින කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ තරිඳු ඉඳුවර සහ බාලිකා පළමු ස්ථානයේ සිටින මහනුවර උසස් බාලිකා විදුහලේ ක්‍රිෂ්වීන් රාමනේෂ්න් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මුදල් පිළිබඳ සාධකය හරස් වීම නිසා තරගාවලිය අහිමිවී තිබේ.

මෙම තත්ත්වය පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ ලේකම් හේමන්ත රත්නායක මහතා පැවසුවේ පාසල් සංගමය සතුව අරමුදල් නොමැති වීම නිසා දක්‍ෂක ක්‍රීඩකයන්ට තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවූ බවයි.

“සංගමය සතුව තිබූ මුදල්වලින් මීට පෙර සංචාරයකදී ගුවන් ප්‍රවේශපත් ලබාදුන්නා. නමුත් මෙවර එහෙම කරන්න හැකියාවක් නෑ. ඒ හේතුවෙන් ආර්ථික දුෂ්කතා ඇති දක්‍ෂ දරුවන්ගේ අවස්ථාව අහිමිවුණා. ඉදිරියේදී අපි මේ තත්ත්වයට විසඳුම් සොයන්න ඕනේ” යැයි ද පාසල් චෙස් සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් පැවසිය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 November 2016 10:57