June 17, 2024

ශ්‍රී ලංකාව ලකුණු 169ක් ඉදිරියෙන්

November 01, 2016

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන ඊයේ (31) දිනයේදී තරගය තෙවැනි දිනයට නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 05ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව සිම්බාබ්වේ දෙවැනි ඉනිමට වඩා තවත් කඩුලු 10ක් ඉතිරිව සිටියදී ශ්‍රී ලංක කණ්ඩායම ලකුණු 169ක් ඉදිරියෙන් සිටියි.

සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ දිනය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 88ක් රැස්කරගෙන සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 45ක් රැස්කරගෙන සිටි ටිනෝ මවෝයෝ දවාගැනීමට සුරංග ලක්මාල් සමත්විය.

අසේල ගුණරත්න වෙත උඩ පන්දුවක් ලබාදී මවෝයෝ දැවී ගිය අතර, ඉන් අනතුරුව වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකිවූ හැමිල්ටන් මසකඩ්සා ද, ලක්මාල්ගේ දෙවැනි කඩුල්ල ලෙස ගොදුරුවෙමින් දිමුත් කරුණාරත්න වෙත උඩපන්දුවක් ලබාදී ලකුණු 33කට දැවී ගියේය. 

ඉන් අනතුරුව සිම්බාබවේ කණ්ඩායමට සැනසිලිදායක තත්ත්වයක් නොවූ අතර, ඔවුන් මුලු ලකුණු 139ක් සම්පූර්ණ කරන විටදී ඔවුන්ගෙන් කඩුලු 06ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී සුරංග ලක්මාල්, රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා කඩුලු 02 බැගින් දවාළීමට සමත් විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බලාපොරොත්තු වූ පීඩනය සිම්බාබ්වේ වෙත එල්ලකිරීමට නොහැකිවූ අතර, 07 වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ පීටර් මුවර් හා ග්‍රැහැම් ක්‍රීමර් ලකුණු 132ක වටිනා සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ.

ලකුණු 79ක් රැස්කරගෙන සිටි මුවර්, ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කුසල් පෙරේරා වෙත උඩපන්දුවක් ලබාදී දැවීයාමත් සමග එම සබඳතාව බිඳ වැටුණි.

තම කුලුඳුල්  ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ළහිරු කුමාරගේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් කඩුල්ල මෙය වේ.

ඉන් අනතුරුව නැවතත් ග්‍රැහැම් ක්‍රිමර් හා ඩොනල්ඩ් ටිරිපානේ අටවැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 92ක සබඳතාවක් ගොඩනැගීය. එම සබඳතාව ටිරිපානෝගේ දැවීයාමත් සමග අවසන්විය.

ඒ වන විට සිම්බාබ්වේ ඉනිම ලකුණු 363/8ක් වශයෙන් දිස්විය. ඉනිමට තවත් ලකුණු 10ක් එක්වන විට සිම්බාබ්වේ සියලුම ක්‍රීඩකයන් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නො සමත්වූහ. කෙසේ වෙතත් අනගි ඉනිමක් ක්‍රිඩා කළ ග්‍රැහැම් ක්‍රීමර් නොදැවි ලකුණු 102ක් රැස්කළේය. එය ඔහුගේ පළමු ටෙස්ට් ශතකයද විය. 

හරාරේ සමාජ ක්‍රීඩාංගණයේ පසුගිය 29 වනදා ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම තීරණය කළ අතර, ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන්සියල්ලන් දැවී ලකුණු 537ක් රැස්කළේය.

ශ්‍රී ලංකා ඉනිම සැරසූ උපුල් තරංග (110 නොදැවී) හා කුසල් පෙරේදා (110) ශතක රැස්කළ අතර, කෞෂාල් සිල්වා (94), දිමුත් කරුණාරත්න (56) හා අසේල ගුණරත්න (54) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 November 2016 08:58