May 19, 2024

ආසියානු ක්‍රිකට් මූලස්ථානයට ලක්‍ෂ 190 ක්

September 17, 2016

සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට ගෙන එන ලද ආසියානු ක්‍රිකට් සභාවේ මූලස්ථානය සඳහා ඉදිකරන ලද ගොඩනැඟිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 19 ක හෙවත් රුපියල් ලක්‍ෂ 190 ක වියදමක් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව ඇතැයි වාර්තා වේ.

වාර්තා වන අන්දමට සාමාජිකයන් 25 දෙනකුගෙන් යුත් ආසියානු ක්‍රිකට් සභාව සඳහා ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල ඉතාමත් කෙටි කාලයකින් ගොඩනැගීම හේතුවෙන් ටෙන්ඩර් කැඳවා නොමැති අතර එහි ඉදිකිරීම් භාරව කටයුතු කර ඇත්තේ වර්තමාන ක්‍රිකට් නිලධාරීන් සමග වසර ගණනාවක් තිස්සේ කටයුතු කරන සුරත් වික්‍රමසිංහ සමාගමයි.
 
එම සමාගම විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද තක්සේරු වාර්තාවක සඳහන් වන පරිදි සාමාන්‍ය තත්ත්වයේ පැවැති කාර්යාලයක් අති විශිෂ්ට තත්ත්වයේ මූලස්ථාන ගොඩනැඟිල්ලක් බවට පරිවර්තනය කිරීම සඳහා රුපියල් 19,018,375 ක් වැයවී තිබේ.

මෙම මුදලින් මිලියන 6.5 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 65 ක් වැයකර ඇත්තේ ගොඩනැඟිල්ලේ ගෙබිම, බිත්ති සහ සිවිලිම සැකසීම වෙනුවෙනි.

එමෙන්ම ආසියානු ක්‍රිකට් සභාවේ මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදිකිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ එක කොටසක පවත්වාගෙන ගිය ආසියානු ක්‍රිකට් සම්මේලන කාර්යාලය වෙනුවෙන් කිසිම මුදලක් අයකර නැති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය විශ්වාස කරන්නේ ආසියානු ක්‍රිකට් සභාවේ ක්‍රියාකාරකම් මගින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් විශාල වාසි අත්වනු ඇති බවයි.

ශ්‍රී ලංකා රජය මගින් ආසියානු ක්‍රිකට් සභාවට දීමට පොරොන්දු වී සිටින විශාල ආදායම් බදු සහන හේතුවෙන් ආසියානු ක්‍රිකට් සභාවේ මූලස්ථානය සිංගප්පූරුවේ සිට කොළඹට ගෙන ඒමට තීරණය කෙරිණ.

පසුගිය අගෝස්තු 20 වැනිදා මෙම මූලස්ථානය විවෘත කරන ලද්දේ ආසියානු ක්‍රිකට් සභාවේ සාමාජික රටවල ඉහළ නියෝජිතයන් මෙන්ම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේද සහභාගිත්වයෙනි.

ලෝකයේ පොහොසත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාද මෙම අවස්ථාවට සහභාගි විය.

ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු තත්ත්වයකට ගෙන ඒම සඳහා සංවර්ධන වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කරන ආසියානු ක්‍රිකට් සභාව විශාල වශයෙන් ආදායම් අත්කරගන්නේ රූපවාහිනී අයිතිවාසිකම් මගිනි.

ආසියානු කුසලාන තරගාවලිය එහි ප්‍රධානතම තරගාවලිය වේ.

විස්ඩන් ශ්‍රී ලංකා ඇසුරිනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 September 2016 14:14