May 02, 2024

කුසල් මෙන්ඩිස් මංගල ශතකය වාර්තා කරයි (VIDEO)

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන අද (28) දිනයේ දී ශතකයක් වාර්තා කිරීමට යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් විය.

මෙය කුසල්ගේ මංගල ශතකය වන අතර ඔහු එය වාර්තා කළේ පන්දු 144කදී වීම විශේෂත්වයකි.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ඕ කීෆ්ගේ පන්දුවක් හමුවේ හයේ පහරක් එල්ල කරමින් කුසල් තම කඩයිම සම්පූර්ණ කළේය.

මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙකු වන කුසල් මීට පෙර රැස්කළ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ සිදුකළ එංගලන්ත තරඟ සංචාරයේ මැයි මස ලීඩ්ස්හි පැවති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ රැස්කළ ලකුණු 53 වේ.

මේ වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 07කට ක්‍රීඩාකර ඇති කුසල් ලකුණු 454ක් රැස්කරගෙන සිටින අතර එහි ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 37.83ක් වේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ශතකයක් අඩුම වයසින් රැස්කළ පිතිකරුවා කුසල් වන අතර ඔහු අවුරුදු 21යි දින 117කදී මෙම ශතකය වාර්තා කළේය.

මීට පෙර අඩු වයසින් ටෙස්ට් ශතතය රැස්කළ පිතිකරුවා රොමේෂ් කළුවිතාරණ වන අතර ඔහු අවුරුදු 22යි දින 267කදී එම ශතකය වාර්තා කර ඇත.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 July 2016 12:02