May 04, 2024

මුරලිගේ හැසිරීම ගැන තිලංගට දුකක් (VIDEO)

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවිම් උපදේශකයෙකු ලෙස කටයුතු කරන  මුත්තයියා මුරලිදරන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මුත්තයියා මුරලිදරන්ට එරෙහිව චෝදනා දෙකක් මේ වන විට ඉදිරිපත් වී ඇති බවත් කණ්ඩායම් කළමනාකරු චරිත් සේනානායක මහතාට බැණවැදීමත්, අවසරයකින් තොරව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පුහුණුව ලබාදීමත් ඔහුට එරෙහිව චෝදනා ලෙස පවතින බවත් එහි සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒ පිළිබඳව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන දැනුවත් කිරිමට පියවර ගත් බව තිලංග සුමතිපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සමග දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මෙම අදහස් පල කළේය.

මුරලිට අතීතයේ මුහුණදෙන්නට සිදුවූ ගැටළු සහගත අවස්ථාවන් 3දී ඔහු බේරාගැනීමට ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කළ බවත්, පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ වෘත්තීයභාවය පිළිබඳ ගැටළුවක් නැතත් සදාචාරාත්මක ප්‍රශ්නයක් පවත්නා බවත් තිලංග සුමතිපාල මහතා පෙන්වා දුන්නේය.

ඔහුගේ ගම් ප්‍රදේශය තුළ ඔහුගේ නමින් පවත්වනු ලබන තරඟාවලියකට අදාළව තමන්ගේ නමින් නම් කළ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තුළ රටට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට සදාචාර විරෝධී ලෙස පුහුණුව ලබාදීමට ඔහු තීරණය කිරීම ඉතා කනගාටුදායක බවත්, එය ඔහුගේම ප්‍රතිරූපයට හානියක් බවත් සුමතිපාල මහතා අවධාරණය කළේය.

මේ අප විසින්ම ගොඩනැඟුව ක්‍රීඩකයින් බැවින් හිතට ලොකු අමාරුවක් දැනෙන බව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියේය.

ඉදිරියේදී නවක ක්‍රීඩකයින්ට තැන ලබාදී කණ්ඩායම ශක්තිමත් ලෙස ගොඩනඟන බවත්, ප්‍රතිවිරුද්ධ පිළෙන් මුරලිලා දහ දෙනෙකු පන්දු යැව්වද,මුරලි යනු මේවන විට හිටපු ක්‍රීඩකයෙකු පමණක් බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු ලෙස කටයුතු කරන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සමඟ පෙරේදා (23) දහවල් පුහුණුවීම් සඳහා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර චරිත් සේනානායක මහතාට බැන වැදී ඇතැයි වාර්තා වේ.

පසුගිය 18 වැනිදා සිට 20 වැනිදා දක්වා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු තුන්දින පුහුණු තරගයේදී ඕස්ට්‍රේලියානු පන්දු යැවීමේ උපදේශක මුත්තයියා මුරලිදරන්ගේ අභිමතය පරිදි තණතිල්ල වෙනස් කළා යැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිලි කිරීමක් සම්බන්ධයෙන් චෝදනා නඟමින් එසේ මුරලිදරන් විසින් සේනානායක මහතාට බැන වැදී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. 

වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 July 2016 09:41