May 04, 2024

ලාංකීය වෛද්‍යවරුන් දෙදෙනෙකු පළමුවරට ඔලිම්පික් යයි

බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නගරයේදී ලබන අගෝස්තු මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ නිල ක්‍රීඩා වෛද්‍ය කටයුතු ආවරණය සදහා ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය හිමාන් ද සිල්වා සහ වෛද්‍ය සංඛ තෙබුවනආරච්චි යන මහත්වරුන් දෙදෙනා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් තෝරා ගෙන තිබේ. 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ක්‍රීඩා වෛද්‍ය කටයුතු ආවරණය කිරිමට ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන් දෙදෙනෙක් සහභාගීවන ප්‍රථම අවස්ථාව මෙය වේ. 

ඔලිම්පික් උළෙලේ ක්‍රිඩා වෛද්‍ය කටයුතු ආවරණය කිරිමට ලෝකයේ විවිධ රටවලින් ක්‍රිඩා වෛද්‍යවරුන් එකසිය පනස් දෙනෙකු තෝරා ගෙන ඇති අතර එම කණ්ඩායමට ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන් දෙදෙ‍නාද අයත් වෙති. අන්තර්ජාතික ඔලිම්පික් වෛද්‍ය සභාවෙන් ක්‍රිඩා වෛද්‍ය පශ්චාත් උපාධිය ලබා තිබිම මෙම තෝරා ගැනීමට ප්‍රධාන හේතුවී තිබේ. අන්තර්ජාතික ඔලිම්පික් වෛද්‍ය සභාවේ ක්‍රීඩා වෛද්‍ය පශ්චාත් උපාධිය ලබා ගත් ශ්‍රි ලංකාවේ මෙන්ම ලෝකයේ ප්‍රථම වෛද්‍යවරයාවන්නේද වෛද්‍ය හිමාන් ද සිල්වා මහතාය. 

එම උපාධිය හිමිවීමෙන් පසුව 'ඔලිම්පික් ක්‍රිඩා වෛද්‍ය' නිල නාමය භාවිතා කිරිමටද හිමාන් ද සිල්වා මහතාට ඔලිම්පික් වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී ඇත. ක්‍රිඩා වෛද්‍ය සංඛ තෙබුවනආරච්චි මහතාද එම පශ්චාත් උපාධිය ලබාගත් 'ඔලිම්පික් ක්‍රිඩා වෛද්‍ය' වෛද්‍යවරයෙකි. වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා ඔලිම්පික් ගම්මානයේ -Rio Olympic Valderome Stadium හි සහ වෛද්‍ය සංඛ තෙබුවනආරච්චිමහතා - Rio Olympic Pavilion 2 හි ක්‍රීඩා වෛද්‍ය ආවරණ සදහා ප්‍රධාන සහ නිල ක්‍රීඩා වෛද්‍යවරුන් (Incharge Field of Play Sports Physician) ලෙස යොදා ගැනීමට අන්තර්ජාතික ඔලිම්පික් වෛද්‍ය සභාවෙන් තෝරා ඇත. 

මෙම වෛද්‍යවරුන් දෙදෙනා ඔලිම්පික් ක්‍රිඩා උළෙල ආවරණය කිරිමෙන් ලබා ගන්නා අත්දැකිම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍ය සංවර්ධන කමිටුව හරහා මෙරට ක්‍රිඩා වෛද්‍ය කෙෂ්ත්‍රෙයේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමට සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සැලසුම් කර ඇතැයි වාර්තා වේ. සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා වෛද්‍යවරුන් දෙදෙනාගේ විදේශ ගමන් වෙනුවෙන් අදාල නිල කටයුතු සදහා පූර්ණදායකත්වය ලබා දී ඇතැයි වාර්තාවේ. 

මේ අතර ඔලිම්පික් උළෙලට සහභාගීවිම සදහා වෛද්‍ය හිමාන් ද සිල්වා සහ වෛද්‍ය සංඛ තෙබුවනආරච්චි යන මහත්වරුන් දෙදෙනා මේ මස 26 වැනි දින බ්‍රසීලය බලා පිටත්ව යෑමට නියමිතය.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 July 2016 09:38