May 02, 2024

ජාතික ශූරතාව අවසානයේ නව ශ්‍රී ලංකා වාර්තා 4ක්

94 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (10) දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වූ අතර මෙවර තරඟාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 04ක් බිහිවීම කැපී පෙනුණි. 

වසරේ දක්‍ෂතම මලල ක්‍රීඩකයා ලෙස උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර සම්මාන දිනාගත්තේය.

මෙවර තරගාවලියේ පළමු ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ අජිත් කුමාර කරුණාතිලක පෙරේදා (09) සමත් විය.

ඔහු දසප්‍රයාම පිරිමි ඉසව්වෙන් 2014 වසරේ දී (ලකුණු 6470) පිහිටුවා තිබූ තම වාර්තාව මෙවර (ලකුණු 6724) කින් අලුත් කළේය.

ඊට අමතරව ඊයේ දිනයේ බිහිවූ ශ්‍රී ලංකා වාර්තා අතරින් මිටිය විසි කිරීම කාන්තා ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ගුවන් හමුදාවේ අයේෂා මධුවන්ති සමත් වූවාය.

අයේෂා මීටර් 44.14 ක දක්‍ෂතාවක් දැක්වූ අතර ඇය විසින් බිඳ හෙළනු ලැබුවේ ඒ.ඩබ්.ඒ.එස්.එම්. අමරසිංහ (මී. 43.93) පිහිටුවා තිබූ වාර්තාවයි.

රිටි පැනීම පිරිමි ඉසව්ව නියෝජනය කළ ඉෂාර සඳරුවන් මීටර 5.00 ක උසක් තරණය කර තමාගේම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ඉෂාර, ඉකුත් පෙබරවාරි මස ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර 4.95 ක දක්‍ෂතාවක් දක්වමින් පෙර වාර්තාව පිහිටුවා තිබුණි.

එසේම ඊයේ බිහිවූ අනෙක් වාර්තාව ලක්‍ෂිකා සුගන්දි විසින් පිහිටවූ අතර කාන්තා සත්ප්‍රයාම ඉසව්ව නියෝජනය කළ ඇය එම ඉසව්වෙන් ලකුණු 4,547 ක් ලබාගැනීමට සමත්විය.

මෙහි පෙර වාර්තාවේ ද (ලකුණු 4404) හිමිකාරිය ඇයයි.

මෙවර තරගාවලිය ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිබූ අවසන් තේරීම් තරගාවලිය වන අතර, ජාත්‍යන්තර ඔලිම්පික් නිර්දේශනයන්ට අනුව රියෝ ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමේ අවසන් දිනය හෙට (12) දිනයයි.

තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා වූ උසපැනීමේ ක්‍රීඩක මංජුල කුමාරට ඔලිම්පික් පරිසාධන මට්ටම වූ මීටර් 2.29 ක උස තරණය කිරීමට නොහැකි වූ අතර එම කඩඉමට ළඟාවීමට ඊයේ (10) විශේෂ අවස්ථාවක් ලබා දුන්නද ඔහුට ළඟාවිය හැකිවූ උපරිම උස වූයේ මීටර් 2.25 ක් පමණි.

94 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ධාවකයා ලෙස යුද හමුදාවේ හිමාෂ ඒෂාන්ටද (තත්.10.50) වේගවත්ම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ එස්.ඒ. විදානදුරයේ ද (තත්.12.00) කිරුළු පැලඳ වූහ.

කෙසේ නමුත් ඊයේ පැවති සමාප්ති උත්සවයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා ප්‍රකාශ කළේ මලල ක්‍රීඩා සංගමය හැටියට කරන්න පුළුවන් සීමාවක් තිබෙන බවත් ක්‍රීඩාංගණ ඉදිකිරීම, තාක්‍ෂණික කටයුතු පිළිබඳව සංගමයක් හැටියට සොයාබැලීම අපහසු බවත්ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 July 2016 09:06