May 03, 2024

මැතිව් අබේසිංහට ඔලිම්පික් වරම්

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් දිනා ගැනීමට පිහිනුම් ක‍්‍රීඩක මැතිව් අබේසිංහ සමත් වී තිබේ.

ඒ, ඊයේ (03) හොංකොං විවෘත පිහිනුම් තරඟ මාලාවේ III වැනි අදියරේ දී මීටර 100 නිදහස් ආර ඉසව්ව තත්පර 50.53 කට අවසන් කරමින් සිය පෞද්ගලික හොඳම තරඟ කාලය නිමා කරමිනි.

එලෙස ඔහු 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලත් ක්‍රීඩකයකු ලෙස සහභාගී වන්නේ ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවාලන කාලයක් ද වාර්තා කරමිනි.

මෙම ඉසව්වේ රියෝ ඔලිම්පික් වරම් හිමිකර ගැනීම සඳහා පිහිනුම් ක්‍රීඩකයකු වාර්තා කළ යුතුව තිබු පරිසාධන මට්ටම (ඔලිම්පික් සුදුසුකම්ලාභී ‘බී’ ශ්‍රේණියෙන්) සටහන් වන්නේ තත්පර 50.70 කි.

මැතිව් සුදුසුකම් නොලත් නාම ලේඛණය යටතේ (වයිල්ඩ් කාඩ්) රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව මීට පෙර හිමිකර ගෙන සිටියේය.

නමුත් මෙවර ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩා ඉතිහාසයේ අවශ්‍ය පරිසාධන මට්ටම සපුරාලමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගිවන පළමු වැන්නා වන්නේ ද මැතිව් අබේසිංහය.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් පිහිනුම් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගිවී ඇත්නම් එම අවස්ථාව ඔවුන්ට හිමිව ඇත්තේ සුදුසුකම් නොලත් නාම ලේඛනයෙනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 July 2016 10:01