May 04, 2024

ICCයෙන් කුසල්ට වන්දියක්?

මාස කිහිපයක් තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනා ලැබ ඉන් නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දියක් ලබා දීමට අයි.සී.සී ය ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වේ.

පසුගිය 02 වෙනිදා ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික හමුවේ දී එහි සාමාජිකයන්ගේ ඒක ඡන්දයෙන් මේ සම්බන්ධ යෝජනාව සම්මත වී තිබේ.

ඒ අනුව කුසල්ට සිදුවූ හානියට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති කටයුතු සඳහා වැය කළ රු.කෝටි 10කට ආසන්න මුදලට පූර්ණ වන්දි වශයෙන් ගෙවීමට අයි.සී.සී. අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම කුසල්ගේ සාවද්‍ය පරීක්‍ෂණ වාර්තා ලබාදුන් ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (WADA) පරීක්‍ෂණ කටයුතුවලින් කටාරයේ පරීක්‍ෂණාගාරය ඉවත් කර තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.

ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහයෝගය ඇතිව ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයෙන් ද වන්දි ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 July 2016 09:13