May 03, 2024

මෙසී ජගත් පාපන්දු පිටියට සමුදෙයි

ආජන්ටිනාවේ ඉදිරිපෙළ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී අන්තර්ජාතික පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (27) අලුයම නිමා වූ කෝපා අමෙරිකා කුසලානයේ අවසන් මහ තරගයෙන් ආජන්ටිනාව පරාජය වීමෙන් පසුව ඔහු මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් ඔහු අඛණ්ඩව බාසිලෝනා කණ්ඩායම හා පාපන්දු ක්‍රීඩා කරනු ඇත. තරගයේදී පිට පිටම දෙවැනි වරටත් චිලී කණ්ඩායම ශූරතාව හිමිකර ගත් අතර ඔවුන් දඬුවම් පහර 4-2ක් ලෙස ආජන්ටිනාව පරාජයට පත්කළේය.

“ජාතික කණ්ඩායම මට අහිමියි. මට පුළුවන් හැම දෙයක්ම කණ්ඩායම වෙනුවෙන් කළා. ශූරයෙක් වීමට නොහැකි විම වේදනාවක්“ යැයි මෙසී සඳහන් කර ඇත.

2014 වසරේ පැවැති ෆිෆා පාපන්දු ලෝක කුසලානයේදී ආජන්ටිනාව එහි අනුශූරතාවය දක්වා රැගෙන යාමට මෙසී සමත්වුවත් 2008 වසරේ බීජින් ඔලිම්පික් රන් පදක්කම ලබාගැනීමෙන් පසුව ආජන්ටිනාවට ප්‍රධාන කුසලානයක් හිමිකර දීමට මෙසී අසමත්ව තිබේ.

කෝපා අමෙරිකා අවසන් මහ තරගයේදී මෙසීට ලැබුණු දඬුවම් පහරද ඔහුට මග හැරුණි. 2005 වසරේ පටන් ආජන්ටිනා ජාතික කණ්ඩායම නියෝජනය කරන 29 හැවිරිදි මෙසී තරග 112කදී ලබාගෙන ඇති ගෝල සංඛ්‍යාව 55කි.

වත්මන් පාපන්දු පිටියේ සිටින සුපිරි පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙක් ලෙස මෙසී පිළිගැනෙන අතර අනෙක් ක්‍රීඩකයා වන්නේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝය.

ඡායා රූ - බීබීසි

 

Rate this item
(0 votes)