May 06, 2024

ශමින්දගේ තැන කුලසේකරට?

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ දී සහ විස්සයි විස්ස තරගය සඳහා නුවන් කුලසේකර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ අන්තර්ජාතික විනිසුරුවරුන්ට සැකයක් ඇතිවීම හේතුවෙන් එංගලන්තයේ ලෆ්බරෝ විශ්ව විද්‍යාලයීය පර්යේෂණාගාරයේ දී ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව ඊයේ (19) පරීක්‍ෂාවට ලක්කරන ලදි. එහි වාර්තාව අද (20) දිනයේ දී ලැබීමට නියමිතය.

ශමින්ද එරංග පන්දු යැවීමේ දී ඔහුගේ අත නැමෙන සීමාව යම් හෙයකින් නියමිත සීමාව වන අංශක 15 ඉක්මවා ගොස් තිබුණහොත් එම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගෙන නැවත පරීක්‍ෂණයකට පෙනී සිටීමකින් පසුව මිස අන්තර්ජාතික තරඟ සඳහා ශමින්ද එරංගට සහභාගි විය නොහැකිය.

එවන් තත්ත්වයකදී ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවන අතර එරංගගේ අඩුව පිරවීම සඳහා නුවන් කුලසේකර කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුගියදා සමුගත් නුවන් කුලසේකර පැවසුවේ එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා තමන් වැඩි අවධානයක් යොමු කරන බවයි.

එක්දින අන්තර්ජාතික පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අතරේ වරෙක ලොව හොඳම පන්දු යවන්නා ද වී සිටි නුවන් කුලසේකර එක්දින තරග 173 කට සහභාගි වෙමින් කඩුලු 186 ක් දවාගෙන ඇති අතර විස්සයි විස්ස තරග 50 කදී දවාගත් කඩුලු සංඛ්‍යාව 56 කි.

ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීම ලෙස සටහන් වන්නේ වසර 2013 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව බිරිස්බේන්හිදී ලකුණු 22 කට කඩුලු 5ක් දවාගැනීමයි.

විස්ඩන් ශ්‍රී ලංකා ඇසුරිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 June 2016 09:40