May 02, 2024

කොදෙව්වෝ ත්‍රිත්ව ශූරයෝ වෙති

එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් තවත් වසර 04කට විස්සයි20 ලෝක ශූරයන් ලෙස කිරුළ පැළදීමට කොදෙව් කණ්ඩායම සමත් විය. 

එසේම විස්සයි20 ලෝක කුසලාන දෙකක් ජයගත් එකම කණ්ඩායම ලෙසින් ද කොදෙව් ඉතිහාසයට එක් විය.

මීට පෙර කොදෙව් කණ්ඩායම 2012 වසරේ දී විස්සයි20 ලෝක ශූරයන් ලෙස කිරුළු පැළදී ය. කොල්කටා ඊඩ්න් ගාඩන්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 155ක් රැස් කරමින් කොදෙව්වන්ට ලකුණු 156ක ඉලක්කයක් ලබාදුන්නේ ය.

කොදෙව්වන්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 19ක් අවශ්‍ය විය. කාලෝස් බ්‍රැත්වෙයිට් ස්ටේක්ස්ගේ පළමු පන්දු හතරට හයේ පහර හතරක් වාර්තා කරමින් කොදෙව්වන්ට තරගයේ ජයගෙන දුන්නේ ය.

2016 වසරේ දී 19න් පහළ එක්දින ලෝක කුසලානය, කාන්තා විස්සයි20 ලෝක කුසලානය හා විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීමට කොදෙව්වෝ සමත් වූහ.

2012 වසරේ දී මෙන්ම මෙම තරගාවලියේත් අවශ්‍ය වේලාදීම ක්‍රියාත්මක වූ මාලන් සැමුවෙල්ස් නොදැවී ලකුණු 86ක් රැස් කරමින් කොදෙව්වන්ට දෙවැනි වතාවටත් ලෝක කුසලානයක් ගෙන දුන්නේ ය.

තරගයේ වීරයා ලෙස මාලන් සැමුවෙල්ස් සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ විරාත් කෝලිට ය.

කාන්තා කණ්ඩාය ලෝක කුසලානය ජය ගැනීමෙන් අනතුරු ව ඔවුන් හා එක් වූ කොදෙව් ක්‍රීඩකයන් පිටියේ දී සතුට සැමරූ අතර කොදෙව් ක්‍රීඩකයන් ලෝක ශූරයන් වෙද්දී කාන්තා කණ්ඩායම ඔවුන් හා එක් ව සතුට සැමරී ය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 04 April 2016 09:15