May 02, 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජයක්

නායකත්වයේ වගකීමට උපරිම සාධාරණය ඉටුකළ චමරි අතපත්තුගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ බැංගලෝර්හි ඊයේ (28) පැවැති තරගයෙන් ප්‍රබල දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පරාජය කර ලකුණු 10 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

කෙසේ වුව ද මෙම තරගය කණ්ඩායමක් දෙකටම බලාපොරොත්තු රහිත නිදහස් තරගයක් වූ අතර, කණ්ඩායම් දෙකම මේ වනවිට තරගාවලියෙන් ඉවත් ව ඇත. ලෝක කුසලාන කාන්තා තරගාවලියේ පළමු වටයේ පැවැති අවසන් තරගය මෙය වූ අතර, එහි අවසන් පූර්ව වටයේ තරග හෙට  (30) ආරම්භ වේ.

ලෝක කුසලාන තරගාවලියේ 'ඒ' කාණ්ඩයෙන් (Group A) තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වේ. මීට පෙර අයර්ලත්තය පරාජය කිරීමට සමත්විය. මෙම කාණ්ඩයෙන් තරග වැදුණු නවසීලත්තය (අපරාජිතව) හා ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගයට මේ වනවිට සුදුසුකම් ලබා සිටී.

චින්ස්වාමි ක්‍රීඩාංගණයේ අද (28) පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 115 ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු පිතිකාරිනියන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 104 ක් පමණි.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ආරම්භක පිතිකාරිනියන් යුගලය පන්දු 46කදී ලකුණු 50 ක් රැස්කිරීමට සමත්වුවද, එම සබඳතාව බිඳවැටීමත් සමග ජයග්‍රහණය දකුණු අප්‍රිකාවෙන් ඈත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ සුගන්දිකා කුමාරි (2/24) හා උදේශිකා ප්‍රබෝධනි (2/13) කඩුලු 02 බැගින් දවාළමින් දක්ෂතා දැක්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකාරිනියෝ පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 114 ක් රැස්කිරීමට සමත්විය.

නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ චමරි අතපත්තු පන්දු 49කදී ලකුණු 52 ක් රැස්කළ අතර, ඇගේ ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහර 05 ක් අන්තර්ගත විය. චමරි ක්‍රීඩාකළ ඉනිම ඇගේ පළමු ජාත්‍යන්තර විස්සයි20 අර්ධ ශතකය මෙය වේ. 

ලෝක කුසලාන තරග ඉතිහාසයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් දකුණු අප්‍රිකානු කණ්ඩායමක් පරාජය කළ ප්‍රථම වතාව ලෙස මෙය වාර්තා අතරට එක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායිකාව ලෙස කටයුතු කළ ශෂිකලා සිරිවර්ධන ආබාධ වීම හේතුවෙන් ඇය නැවත ලංකාවට පැමිණි අතර, ඒ හේතුවෙන් චමරිට කණ්ඩායම් නායකත්වය හිමි විය.

කෙසේ නමුත් චමරි හැරෙන්න වෙනත් කිසිදු පිතිකාරිනියකට සාර්ථකවීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නියෝ ඉඩ ලබා නොදුන් අතර, එම පීඩනයෙන් යම් තරමකට හෝ මිදුණු ප්‍රසාදනී වීරක්කොඩි පන්දු 15කදී ලකුණු 15 ක් රැස්කළා ය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක වූ මරිසානි කෙප් (2/17) හා සුනේ ලුස් (2/20) කඩුලු 02 බැගින් බිඳහෙළමින් දක්ෂතා දැක්වූහ. තරගයේ වීරවරිය ලෙස චමරි අතපත්තු සම්මාන දිනාගත්තා ය.

 

Rate this item
(0 votes)