May 04, 2024

කොදෙව්වෝ අවසන් පූර්ව වටයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හයවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (25) සමත් වී ඇත.

කොදෙව් කණ්ඩායම තරගාවලියේ මේ දක්වා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දෙවැනි කණ්ඩායම ද වේ. නවසීලන්තය දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව යටයට සුදුසුකම් ලැබී ය.  

'සුපිරි 10' වටයේ පළමු කාණ්ඩයේ හත්වැනි තරගය ලෙස නාග්පූර්හි දී ඊයේ පැවැති තරගයේ දී කොදෙව් කණ්ඩායම කඩුලු 03 කින් දකුණු අප‍්‍රිකාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට පැමිණියේ ය. කොදෙව් කණ්ඩායම මෙම ජයග‍්‍රහණයත් සමග සහභාගි වූ තරග තුනම ජය ලබා ප‍්‍රසාද ලකුණු 06 ක් හිමිකරගෙන සිටී. ඔවුන්ගේ පළමු වටයේ අවසන් තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව හෙට (27) නාග්පූර්හි දී පැවැත් වේ.

කොදෙව් කණ්ඩායම ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමග ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවැත්වෙන තරගයෙන් එංගලන්තය ජය ලැබහොත් එංගලන්තය ද අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි. එසේ වුහොත් ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර එළැඹෙන 28 වැනි දා පැවැත්වෙන තරගය හුදෙක්ම තරගයකට පමණක් සීමාවන අතර එහි ප‍්‍රතිඵලය අවසන් පූර්ව වටයට ඒමට දෙපිලටම බලපෑමක් නොකරයි.

අද තරගයෙන් ශ‍්‍රී ලංකාව ජය ලබා අවසන් තරගයෙන් දකුණු අප‍්‍රිකාව ජය ලැබුව හොත් ශූද්ධ ලකුණු වේගයෙන් දකුණු අප‍්‍රිකාව පළමු කාණ්ඩයේ දෙවැනි කණ්ඩායම ලෙස අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි. 

 

Rate this item
(0 votes)