May 02, 2024

නවසීලන්තය ඉන්දියාව පරදවයි

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 10 දෙනාගේ වටයේ පළමු තරගය ලෙස සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය අතර ඊයේ (15) නාග්පූර්හි දී පැවති 02 වැනි කාණ්ඩයේ තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්තය සමත් විය. 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 18.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 79 ක් පමණි. මෙය ඔවුන් විස්සයි20 තරගයක දී ලැබූ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ. 

මින් පෙර 2008 වසරේ  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයක දී ලකුණු 76 කට දැවී යෑම ඉන්දීය කණ්ඩායමක් විස්සයි 20 තරගයක දී ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වේ. 

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 30 ක් රැස් කළේ ය. 

ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් 07 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. මිචෙල් සන්ට්නර් ලකුණු 11 කට කඩුලු 04 ක් සහ ඉෂ් සෝධි ලකුණු 18 කට කඩුලු 03 ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 126 ක් ලබාගත් අතර නවසීලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ කෝරි ඇන්ඩර්සන් පන්දු 42 කදී හතරේ පහර 03 ක් සමගින් ලකුණු 34 ක් රැස් කළේ ය.

ඉනිමේ අවසන් ඕවර කිහිපයේ දී වේගවත් පිතිහරඹයක නිරත වූ කඩුලු රකින කී‍්‍රඩක ලූක් රොන්චි පන්දු 11 කදී නොදැවී ලකුණු 21 ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 02 ක් සමගිනි.

Rate this item
(0 votes)