April 28, 2024

ඉන්දියාව අවසන් මහා තරගයට 

එක්සත් අරාබි එමීර් (යු.ඒ.ඊ.) කණ්ඩායම කඩුලු 10කින් පරාජය කර ආසියානු කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අපරාජිත ව පිවිසීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (03) සමත් වී තිබේ.

යු.ඒ.ඊ. කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 82 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම තරග 10.1 වැනි පන්දුවාරයේ දී එම ඉලක්කය පසුකර යාමට සමත් විය. සත්කාරක බංග්ලාදේශය, පාකිස්තානය මෙන් ම ශ්‍රී ලංකාව පරාජය කර අවසන් තරගයට සුදුසකම් ලබාසිටි ඉන්දීය කණ්ඩායමට මෙම තරගය නිදහස් තරගයක් විය.

රෝහිත් ශර්මා සමගින් ශිකර් දවාන් ඉන්දීය ඉනිම ආරම්භ කළ අතර, ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ශර්මා ලකුණු 39 ක් රැස් කළේ ය. මුලු ලකුණු 43 දී ශර්මා දැවීයාමත් සමග පිටියට පිවිසි යුවරාජ් සිං දෙවැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩනගා ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් (යු.ඒ.ඊ.) කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 81 ක් පමණි. යු.ඒ.ඊ. ඉනිමට වටිනාකමක් එක්කළ එකම පිතිකරුවා වූ ශායිමන් අන්වර් ලකුණු 43 රැස් කිරීමට සමත් විය. ඉන්දියාව වෙනුවෙන් භුනේෂ්වර් කුමාර් කඩුලු 02 ක් දවාලූ අතර, පන්දුවාර 04 තුළ දී ඔහු වැයකළේ ලකුණු 08 ක් පමණි.

තරගයේ වීරයා ලෙස රෝහිත් ශර්මා ශර්මා සම්මාන දිනා ගත්තේ ය. ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය එළැඹෙන 06 වැනි දා ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත් වේ.

 

Rate this item
(0 votes)