May 07, 2024

ඉන්දියාව හමුවේ ලංකාව පසුබසී

බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවති තරගාවලියේ 07 වැනි තරගයෙන් කඩුලු 05 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 

මෙම ජයග්‍රහණයත් සමග ඉන්දීය කණ්ඩායමේ අවසන් මහා තරගයට පිවිසීම ස්ථිර වූ අතර, සත්කාරක බංග්ලාදේශයට ද අවසන් මහා තරගය කෙරෙහි බලාපොරොත්තු ඇති කර තිබේ.

යම් හෙයකින් අද (02) පැවැත්වෙන බංග්ලාදේශ - පාකිස්තාන තරගයෙන් බංග්ලාදේශය ජය ගතහොත් ඔවුන් ඉන්දියාව සමගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 139 ක ඉලක්කයකට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම තරගයේ 19.2 වැනි පන්දුවාරයේ දී කඩුලු 05 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් විය.

ශිකර් දවාන් සමගින් රෝහිත් ශර්මා ඉන්දීය ඉනිම ඇරඹූ අතර, ඔවුන් දෙදෙනා වේලාසනම ක්‍රීඩාගාරය හරවා යවමින් බලාපොරොත්තු සහගත ආරම්භයක් ලබා ගැනීමට නුවන් කුලසේකර සමත් විය. ඔවුන් දෙදෙනා දැවීයන විට ලකුණු පුවරුව 2/16 ක් (පන්දුවාර 3.2) ලෙස සටහන් විය.

කෙසේ වුව ද ශ්‍රී ලංකා බලාපොරොත්තු කණපිට පෙරළු සුරේෂ් රයිනා හා විරාට් කෝලි තෙවැනි කඩුල්ලට ලකුණු 54 ක් එක්කර තරගය නැවතත් තරගය ඉන්දියාව දෙසට හරවා ගත්හ. 

මුලු ලකුණු 70 ක් වනවිට සුරේෂ් රයිනා දැවී ගියත්, ඉන් ඉන්දියාවෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ අතර, කෝලි සමගින් එක් වූ යුවරාජ් සිං සිව්වැනි කඩුල්ලට පන්දු 31කදී ලකුණු 51 ක සබඳතාවක් ගොඩනගා ජයග්‍රාහී ඉලක්කය පහසු කළේ ය.

ඉන්දීය ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය විරාට් කෝලි සිය 13 වැනි 20 - 20 අර්ධ ශතය රැස් කරමින් නොදැවී ලකුණු 56 ක් රැස් කළේ ය.

ඉන්දීය කණ්ඩායමේ ඇරයුමෙන් පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138 ක් පමණි.

සාර්ථක ආරම්භයක් ලබාදීමේ නොහැකියාව මෙම තරගයේ ද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගෙන් ඉස්මතු වූ අතර, ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ලකුණු 04 ක් රැස්කරගෙන සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට අශිෂ් නෙහරා සමත් විය. 

ඉන් අනතුරු ව පිටියට පිවිසි ශෙහාන් ජයසූරියට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ නොදුන් ජස්ප්‍රීට් බුම්රාහ් ශෙහාන්ගේ ඉනිම ලකුණු 03කට සීමා කළේ ය. එම කඩුලු දෙකෙහිම උඩපන්දු ලාභියා දෝනි විය.

චාමර කපුගෙදර ඉදිරිපෙළ පිතිකරුවෙකු ලෙස කැඳවා තිබූ අතර, ලබාදුන් උසස්වීමට උපරිම සාධාරණය ඉටුකළ කපුගෙදර පන්දු 32 කදී ලකුණු 30 ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිම මන්දගාමී ස්වරූපයක් ගත්ත ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළම හේතු වූ එකම සාධකය කපුගෙදරගේ ඉනිම විය.

ලකුණු අතරට ඒමට උත්සහා දරමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්ට මෙම තරගයේ ද එම අභියෝගය ජය ගැනීමට නොහැකි වූ අතර, ලසිත් මාලිංග ඊයේ (01) තරගයට ද ක්‍රීඩා නොකළ බැවින් නායකත්වයේ වගකීමත් සමග ඉනිම ක්‍රියාත්මක කළ මැතිව්ස්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 18 ක් පමණි.

කෙසේ වුව ද මැතිව්ස්ගෙන් පසු පිටියට පිවිසි මිලින්ද සිරිවර්ධන, කපුගෙදර සමගින් එක් ව 05 වැනි කඩුල්ලට ලකුණු 43 ක අත්‍යවශ්‍ය සබඳතාවක් ගොඩනැගූ අතර ඒ සඳහා වැයකළේ පන්දු 31 ක් පමණි. එය ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ගොඩනැගුණු එකම අයෝජන සබඳතාව විය. මිලින්ද සිරිවර්ධන දැවීයාමත් සමග එම සබඳතාව බිඳවැටුණි.

එහි දී තිසර පෙරේරා සිය ප්‍රහාරාත්ම ඉනිම නැවතත් ප්‍රදර්ශණය කළ අතර, ඔහු දැවැන්න හයේ පහරක් සමගින් පන්දු 06 කදී ලකුණු 17 ක් දායක කළේ ය. ඔහුට උපරිම සහයෝගය ලබාදුන් නුවන් කුලසේකර ලකුණු 13 ක් රැස්කළ අතර, 08 වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 08 කදී ලකුණු 20 ක් රැස් කළේ ය.

එහි දී තිසර පෙරේරා අශ්වින්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව දැවීගියේ ය. කෙසේ නමුත් තෙවැනි විනිසුරුගේ සහාය නොලබා ලබාදුන් එම තීරණය ශ්‍රී ලංකාවට අවාසියක් වූ අතර, එම දැවීයාම රූපරාමු නැවත බැලීමේ දී නොදැවුණු පිතිකරුවෙකු ලෙස සටහන් විය. ඉන්දියාව වෙනුවෙන් ජස්ප්‍රීට් බුම්රාහ්, හාදික් පාද්‍යා හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 02 බැගින් දවාලූහ. තරගයේ වීරයා ලෙස විරාට් කෝලි සම්මාන දිනාගත්තේ ය.

 

Rate this item
(0 votes)