May 06, 2024

සාග් ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණන මෙවර ලබාගනී

February 16, 2016

සාග් ක්‍රීඩා උළෙලේ එක් තරගාවලියක දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් වැඩිම පදක්කම් ප්‍රමාණයේ වාර්තාව ඉක්මවා යාමට ශ්‍රී ලංකාවට ඊයේ (15) හැකි වී තිබේ.

ඊයේ දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 25 ක් ඇතුළුව පදක්කම් 181 ක් ලබා ගැනීමට සමත් විය. රිදී පදක්කම් 60 ක් හා ලෝකඩ පදක්කම් 96කින් ශ්‍රී ලංකා පදක්කම් සටහන සමන්විත විය. 

මෙම පදක්කම් ප්‍රමාණයත් සමගින් 2006 වසරේ කොළඹ දී පැවැති 10 වැනි සාග් තරගාවලියේ ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් ප්‍රමාණයක් ලබා ගනිමින් පිහිටුවා තිබූ වාර්තාව අභිබවා යාමට ශ්‍රී ලංකාව සමත් ව ඇත. 

එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 37 ක් සමගින් සමස්ත පදක්කම් 178 ක් දිනා ගැනීමට සමත් විය. රිදී පදක්කම් 63 ක් හා ලෝකඩ පදක්කම් 78 ක් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත් විය.

සාග් ක්‍රීඩා තරගාවලියක දී ශ්‍රී ලංකාව වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් හිමි කරගෙන ඇත්තේ 1991 වසරේ දී ය. එම වසරේ ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේ දී රන් පදක්කම් 44 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. මෙතෙක් පැවැති සාග් ක්‍රීඩා ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව දිනා ඇත්තේ රන් පදක්කම් 185 ක් වුව ද ඉන්දියාව රන් පදක්කම් 1200කට අධික සංඛ්‍යාවක් දිනා ඇත.   

ඉන්දියාවේ 'ගුවහාටි' හා 'සිලාන්' යන එකිනෙකට කිලෝමීටර් 110 ක දුරකින් පිහිටි නගර දෙකක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සාග් ක්‍රීඩා උලෙළ අද (16) පස්වරුවේ 'ඇසෑම්' ප්‍රාන්තයේ මහ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාප්ති උත්සවයෙන් අනතුරු ව නිමාවට පත් වේ.

තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 484 දෙනෙකුගේ කණ්ඩායමක් ක්‍රීඩා ඉසව් 23 ක් සඳහා සහභාගි කළ ද ඊයේ වනවිට රන් පදක්කම් දිනා තිබුණේ  ඉසව් හතරකින් පමණි. ඒ පිහිනුම්, මලල ක්‍රීඩා, බර ඉසිලීම් හා පාපැදි යන ක්‍රීඩා ඉසව්වලින් පමණි. සාග් පැසිපන්දු තරගාවලිය අවලංගු කළ බැවින් ඒ සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවහාටි තරග සංචාරය හුදු විනෝද ගමනක් පමණක් විය. 

පාපන්දු, අත්පන්දු, කෝ - කෝ යන ඉසව් දෙකෙන් ශ්‍රී ලංකාව පදක්කම් නොලබා අසාර්ථක වෙද්දී සෙසු ක්‍රීඩා ඉසව්වල දී රිදී හා ලෝකඩ පදක්කම් හිමි කර ගත්තේ ය. බොක්සිං ක්‍රීඩාවෙන් තවත් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් හතරක් ඊයේ (15) හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. 

කෙසේ වුව ද බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු කෙරෙහි විශ්වාසයක් තබා ඇති අතර, මීළඟ රන් පදක්කම ඇය වෙතින් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව දැඩි විශ්වාසයෙන් පසු වේ. ඇය අද සිය ඉසව්වේ තරග වැදීමට නියමිතයි. බොක්සිං තරගාවලිය පැවැත්වෙන 'සිලාන්' නගරයේ දී ය. ඊයේ බොක්සිං රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට කිලෝග්‍රෑම් 56 බර පංතිය නියෝජනය කළ රුවන් තිළිණ වීරසේකර හා කිලෝග්‍රෑම් 64 බර පංතිය නියෝජනය කළ දිනුදු දසුන් සපරමාදු සමත් ව ඇත.

මේ අතර 14 වැනි දා රාත්‍රියේ පැවැති කබඩි තරගාවලියේ දී අවසන් පූර්ව තරග වටයෙන් පරාජයට පත් වූ ශ්‍රී ලංකාව මෙවර කබඩි තරගාවලියේ කාන්තා හා පිරිමි ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. බොක්සිං ක්‍රීඩා ඉසව්වෙන් ඊයේ (15) ලෝකඩ පදක්කම් හිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූයේ ගයාන් සංජීව ජයවීර (කිලෝග්‍රෑම් 60 බර පංතිය) තිවංක සඳරුවන් රණසිංහ (කිලෝග්‍රෑම් 49 බර පංතිය), ඉෂාන් රංජීව සෙනෙවිරත්න (කිලෝග්‍රෑම් 52 බර පංතිය) හා සිසිර කුමාරසිංහ (කිලෝග්‍රෑම් 69 බර පංතිය) යන ක්‍රීඩකායෝ ය. බොක්සිං ක්‍රීඩා ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් හත්දෙනෙකු හා ක්‍රීඩිකාවන් තිදෙනෙක් සහභාගි වූහ. 

පදක්කම් සටහන පහතින්, 

 

Rate this item
(0 votes)