May 05, 2024

ලංකාව දිනූ පදක්කම් සටහන

February 08, 2016

ඉන්දියාවේ 'ඇසෑම්' ප්‍රාන්තයේ ගුහාති හා ශිලොන් නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ (සාග්) තෙවැනි දිනය වූ ඊයේ (07) දිනය නිමා වනවිට පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාව රන් පදක්කම් 08 ක්, රිදී පදක්කම් 18 ක් හා ලෝකඩ පදක්කම් 14 ක් සමගින් සමස්ත පදක්කම් 40 ක් දිනාගෙන සිටී. සුපුරුදු පරිදි සත්කාරක ඉන්දීය කණ්ඩායම මෙහි පෙරමුණේ ද පාකිස්තානය තෙවැනි ස්ථානයේ ද පසු වෙයි.

තෙවැනි දිනය වූ ඊයේ (07) දිනයේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 04 ක් දිනා ගැනීමට සමත් වූ අතර, මැතිව් අබේසිංහ (පිහිනුම්/මී. 50 නිදහස් ආර) ජීවන් ජයසිංහ (පාපැදි/ කි.මී. 60), කිමිකො රහීම් (පිහිනුම්/ මී. 200 පසුපස ආර) හා පී.එල්.එච්. ලක්ෂාන් (වූෂු/තාවුලු) එම පදක්කම් දිනූහ. ඔවුන්ට අමතරව රිදී පදක්කම් 08 ක් හා ලෝකඩ පදක්කම් 07 ක් දිනාගැනීමට ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාවට හැකි විය.

මෙහි දෙවැනි දිනය වූ පෙරේදා (06) දිනයේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 10 ක් හා ලෝකඩ පදක්කම් 07 ක් සමගින් සමස්ත පදක්කම් 21 දිනාගත් අතර, එය සාග් ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ එක් දිනක දී වැඩිම පදක්කම් ගණනක් දිනාගත් පළමු අවස්ථාව විය.

ක්‍රීඩා උලෙළේ පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු ශූරතාව හිමි කරගෙන සිටින ඉන්දියාව ගෝල 1 - 0 කට පරාජය කරමින් පෙරළිකාර ජයක් ලබා ගැනීමට සමත් විය. මෙම තරගයේ 13 වැනි විනාඩියේ දී නායක එම්. රිෆ්නාස් නිදහස් පහරක් සාර්ථක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ගෝලය වාර්තා කර දුන්නේ ය.

ලංකාව සාග් ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව මෙයවන අතර, 1995 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියක දී ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව මෙය විය. 1989 වසරේ සිට ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තරග 15 කට මුහුණ දී සිටියත්, ඉන් ජයගෙන ඇත්තේ තරග 03 ක් පමණි. 2006 වසරේ කොළඹ පැවැති සාග් ක්‍රීඩා උලෙළේ දී ද ශ්‍රී ලංකාව එහි අවසන් මහා තරගයේ දී ඉන්දියාව ඉදිරියේදී පරාජය විය.

මෙවර සාග් ක්‍රීඩා උලෙළේ පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව අද (08) මාලදිවයිනට එරෙහිව මූලික වටයේ දෙවැනි තරගයට සහභාගි වේ. මෙය ජයගතහොත් ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.

මෙවර සාග් ක්‍රීඩා උලෙළේ පදක්කම්ලාභීන්ට රන් පදක්කමට රුපියල් ලක්ෂ 05, රිදී පදක්කමට රුපියල් ලක්ෂ 03 හා ලෝකඩ පදක්කමට රුපියල් ලක්ෂ 02 ලෙස හා කණ්ඩායම් ඉසව්හි ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග ලබාදෙන බවට ප්‍රතිඥා දුන් අතර ඒ අනුව ඊයේ (07දා) දිනය අවසන් වනවිට පමණක් පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන මුළු ත්‍යාග මුදල රුපියල් කෝටිය ඉක්මවා තිබේ.

පදක්කම් සටහන පහතින්,

 

Rate this item
(0 votes)