April 27, 2024

වාස්ට අයර්ලන්තයේ වේගපන්දු උපදේශක තනතුරක් 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු පුහුණුකරු මෙන්ම හිටපු තුන් ඉරියව් ක්‍රීඩක චමින්ද වාස්, ඉදිරියේ දී ආරම්භවන පන්දුවාර 20 - 20 ලෝක කුසලාන තරගාවලියේ දී වේගපන්දු පුහුණු උපදේශකයෙකු ලෙස බඳවා ගැනීමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

කෙසේ වුව ද අයර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර කෙටි තරග සංචාරයක් සඳහා එළැඹෙන පෙබරවාරි මාසයේ මැද පෙරදිග තරග සංචාරයකට එක්වන අතර එහි දී එක්සත් අරාබි එමීර් (යූ.ඒ.ඊ.) කණ්ඩායම සමගින් 20 - 20 තරග දෙකකට සහභාගිවීමට නියමිත ව ඇත. එම තරගාවලිය වාස්ගේ පළමු වගකීම වේ.

නවසීලන්ත කණ්ඩායම 2012 වසරේ ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ සිදුකළ තරග සංචාරයේ දී වාස් පුහුණු උපදේශවරයෙකු ලෙස බඳවාගත් අතර එහි දී නවසීලන්ත කණ්ඩායම එම තරගාවලිය තරග 1 - 1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට හැකි විය. එම දක්ෂතා හේතුකොට ගනිමින් 2013 වසරේ දී වාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස බඳවා ගත් අතර එතැන් සිට පසුගිය වසරේ අප්‍රේල් මස වනතෙක් වාස් එහි කටයුතු කළේ ය. කෙසේ නමුත් දෙවසරක සේවා කාලය අප්‍රේල් මස අවසන්වීමෙන් පසු නැවත එම සේවා කාලය දිගුකරගැනීමට ඔහු කටයුතු නොකළේ ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් (355), එක්දින (400) හා 20 - 20 (06) තරග කාණ්ඩ තුන යටතේම ක්‍රීඩාකර ඇති වාස්, එම කාණ්ඩ ත්‍රිත්වයේ කඩුලු 761 ක් බිඳහෙළා ඇත. එක්දින හා ටෙස්ට් කාණ්ඩවල ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් දෙවැනි පන්දු යවන්නා වන්නේ ද චමින්ද වාස් ය. 

Rate this item
(0 votes)