April 28, 2024

20 - 20 නායකත්වයත් මැතිව්ස්ට? 

ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකත්වය දරණ ඇන්ජලෝ මැතිව්ස්ට 20 - 20 කණ්ඩායමේ නායකත්වය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ද ආරම්භ කර තිබේ.  මේ වනවිට 20 - 20 කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන අතර තරග රටා තුනේම නායකත්වය එක් ක්‍රීඩකයෙකු යටතට පත්කිරීම සුදුසු බව නව පරිපාලනයේ අදහස වී තිබේ. 

"තව මාස 02 කින් තේරීම් කමිටුවේ කාලය අවසන් වෙනවා. නමුත් අපි ඔවුන් සමග නායකත්වය එක් ක්‍රීඩකයෙකුට දෙනවා ද නැද්ද කියන කාරණය සාකච්ඡා කරමින් පවතිනවා. එමෙන්ම නව තේරීම් කමිටුවකට අවශ්‍ය නම් 10 ක් ඇමතිතුමාට යවන්න බලාපොරොත්තු වෙනවා. අපි තවම අවසන් නම් 10 ඒ සඳහා යෝජනා කර ඉවර නැහැ. නායකත්වය හා නව තේරීම් කමිටුව පත් කිරීම අපි අමාත්‍යවරයා සමගත් සාකච්ඡා කරලා අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වනවා" යනුවෙන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය පිළිබඳ අදහස් දැක් වූ සභාපතිවරයා පැවසුවේ, විදේශීය පුහුණුකරුවන් සිවුදෙනෙකු සමග මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතින බවත්, ඔවුන්ගෙන් එක් අයෙකු විස්සයි20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම භාරගනු ඇති බවයි.

එමෙන්ම රොමේෂ් කළුවිතාරණ හා උපුල් චන්දන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැරූ පුහුණුකාර ධුරවලින් ඉවත් නොකළ බවත්, ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීමට තීරණය කළ බවත් සුමතිපාල මහතා සඳහන් කළේ ය.

කළුවිතාරණ හා චන්දන පුහුණුකරු තනතුරුවලින් ඉවත්කොට ඇති බවට වාර්තාවන තොරතුරු පිළිබඳ කළ විමසුකමට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

කළුවිතාරණ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර උපුල් චන්දන ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 January 2016 17:25