April 28, 2024

නවසීලන්තයට කඩුලු 10 ක පහසු ජයක් 

මාටින් ගප්ටිල්ගේ හා කේන් විලියම්සන්ගේ සුපිරුදු ප්‍රවේගවත්  පිති හරඹය හේතුවෙන් පාකිස්ථානය සමගින් පැවති දෙවැනි පන්දුවාර විස්ස තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට නවසීලන්තය සමත් විය.

නවසීලන්තයේ හැමිල්ටන් හිදී ඊයේ (17) පැවති මෙම තරගයේ ලකුණු  169 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ක්‍රීඩකයෝ කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 17.4 ක් තුළ දී එය සපුරා ගැනීමට සමත් වූහ.

නවසීලන්ත ජයග්‍රහණයේ නියමුවන් වූ මාටින් ගප්ටිල් ලකුණු 87 ක් හා කේන් විලියම්සන් ලකුණු 72 ක් බැගින් රැස් කිරීමට සමත් වූහ. ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔවුන් දෙදෙනාටම හිමි විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානය සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 07 ක් දැවී ලකුණු 168 ක් රැස් කිරීමට සමත් විය.

පාකිස්තානු ඉනිම ශක්තිමත් කළ උමාර් අක්මාල් පන්දු 24 කදී වේගවත් ලකුණු 57 ක් රැස් කළේ ය. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් මිචෙල් මැක්ලෙනැහැන් කඩුලු 02 ක් බිඳ හෙළී ය.

දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්ස තරගය ලකුණු 16 කින් ජය ගැනීමට පාකිස්තානය සමත් වූ බැවින් තරගාවලිය මේ වනවිට තරග 1-1 ක් ලෙසින් දෙපිළම සම තත්ත්වයේ පසු වේ.

මේ අතර මෙම තරගාවලියට කලකට පසු පාකිස්තාන වේග පන්දු යවන්නන් දෙපළක්වන මොහොමඩ් ආමීර් හා උමාර් ගුල් එක් වී තිබීම විශේෂත්වයකි. තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ මොහොමඩ් ආමීර් අන්තර්ජාතික ක්‍රිකට් තරගයකට එක් වූයේ වසර පහමාරකට පසුවවන අතර පාදයේ  ආබාධ හේතුවෙන් උමාර් ගුල් ද කණ්ඩායමට නැවතත් එක් වූයේ මාස 09කින් අනතුරු ව ය.

 

Rate this item
(0 votes)