April 28, 2024

දසුන් ශානක 20 - 20 වාර්තාවක් සමකරයි

පළමු පෙළ 20 - 20 තරගයක දී පිතිකරුවෙකු එල්ල කළ දෙවැනි වැඩිම හ‍යේ පහර සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ දසුන් ශානක ඊයේ (12) සමත් ව තිබේ.

ඒ.අයි.ඒ. ප්‍රිමියර් 20 - 20 තරගාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී ඊයේ (12) පැවැති තරගයේ දී දසුන් ලකුණු 123 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු 46 කදී ගොඩනැගුණු එම ඉනිමට 06 පහර 16 ක් හා 04  පහර 02 ක් අන්තර්ගත විය. එහි ඔහු එල්ල කළ 06 පහර සංඛ්‍යාව පළමු පෙළ 20 - 20 තරගයක දී එල්ල කළ සම දෙවැනි වැඩිම හයේ පහර සංඛ්‍යාව වේ. ඒ අනුව දසුන් එංගලන්ත ක්‍රීඩක (පළමු පෙළ) ග්‍රැහැම් නේපියර් සමගින් සම තත්ත්වයේ පසු වේ.

2013 වසරේ පැවැති අයි.පී.එල්. තරගාවලියේ ක්‍රිස් ගේල් (175), පූනේ වොරියර්ස් කණ්ඩායමට එරෙහි ව එල්ල කළ 06 පහර 17 පළමු පෙළ තරගයක දී පිතිකරුවෙකු එල්ල කර ඇති වැඩිම 06  පහර සංඛ්‍යව වේ.

දසුන්ගේ ඉනිමත් සමග එස්.එස්.සී. කණ්ඩාමට පන්දුවාර 20 අවසානයේ ලකුණු 251 ක් රැස්කිරීමට හැකි වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සැරසන්ස් කණ්ඩායමට පන්දුවාර 16.2 අවසානයේ සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි. ඒ අනුව ලකුණු 123ක ජයක් එස්.එස්.සී. කණ්ඩායමට හිමි විය.

පළමු පෙළ 20 - 20 තරගය දී දසුන් වාර්තාළ දෙවැනි ශතකය මෙයවන අතර ඉහත තරගාවලියේ ඉකුත් සතියේ පැවැති තරගයේදී ද ඔහු හයේ පහර 12 ක් හා හතරේ පහර 10 ක් සමගින් පන්දු 48කදී නොදැවී ලකුණු 131 ක් රැස්කිරීමට සමත් විය.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ හා මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවෙකුවන 24 හැවිරිදි දසුන් ශානක, ඉකුත් අගෝස්තු මාසයේ දී පාකිස්තානය සමග ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේ දී 20 - 20 ජාත්‍යන්තර වරම් දිනාගත්තේ ය. කෙසේ වුව ද ඉන් අනතුරුව ඔහුට ජාතික කණ්ඩායමට ක්‍රීඩාකිරීමට අවස්ථාවක් හිමි නොවුණි. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2016 09:42